2013 අලි මිනිස් ගැටුම: පුද්ගලයින් 60ක් සහ වන අලි 190ක් මරුට

2013 අලි මිනිස් ගැටුම: පුද්ගලයින් 60ක් සහ වන අලි 190ක් මරුට

By Chathuranga Rajapaksha

29 Dec, 2013 | 7:18 am

වසරේ මේ දක්වා කාලය තුළ මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑමෙන් වන අලින් 190 දෙනෙකු මියගොස් ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම කාලය තුළ අලින් නිසා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 60 කට අධික ය.

දැනට දිවයිනේ සමස්ත අලි ගහනය 6000 ක් වේ.

ඒ අනුව මේ වසරේ අලි මිනිස් ගැටුම නිසා මියගිය අලින් සංඛ්‍යාව වත්මන් අලි ගහනයෙන් සියයට තුන ඉක්මවා තිබේ.

මිනිස් ක්‍රියාකාරකම් නිසා වන අලින්ට සිදු වූ විපත් රැසක් ද මේ වසරේ වාර්තා විය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී. රත්නායක මහතා පැවසුවේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රටට අහිමි වූ අලින් හා මිනිස් ජීවිත සංඛාව පහළ ගොස් ඇති බව ය.

අලි මිනිස් ගැටුම නිසා පසුගිය වසරේ වන අලින් 257 දෙනෙකු මියගිය අතර, මේ වසරේ එම සංඛ්‍යාව 190කි.

පුද්ගලයින් 70 දෙනෙකු පසුගිය වසරේ මියගොස් තිබූ අතර, මේ වසරේ එය 60කි.

අලි මිනිස් මරණ අවම කරගැනීමට සිවිල් ආරක්ෂක බලකායෙන් ලැබුණු සහාය, ආධාරයක් වූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ලබන වසරේදී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර, විදුලි වැට සහ අලිමංකඩ ඉදිකිරීම මෙන්ම රක්ෂිතවල වන අලින්ට ආහාර හා ජලය සුලබ කිරීම ඊට ඇතුළත් බව ය.

සමාජ වෙබ් අඩවියක පලවු තොරතුරු කිහිපයකට අනුව, 2013 මැයි මස දක්වා වැඩිම වන අලි මරණ සංඛ්‍යාව වන 57 වාර්තා වී ඇත්තේ උතුරුමැද පළාතෙන් ය.

එමෙන්ම 2013 වසරේ මැයි මස දක්වා වන අලි පහරදීමෙන් නැගෙනහිර සහ වයඹ පළාත්වල 7 දෙනා බැගින් මියගොස් තිබේ.

පසුගිය වසරේ, මධ්‍යම සහ දකුණු පළාත්වලින් අඩුම වන අලි මරණ වාර්තා වූ අතර පුද්ගල මරණ අඩුවෙන්ම වාර්තා වී ඇත්තේ ඌව පළාතෙනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ ‍මහාචාර්ය දේවක වීරකෝන් මහතා

[quote]අපි දකින දෙයක් තමයි සාමාන්‍යයෙන ඉස්සර කළේ මාස් කන්නේ විතරයි වැවුණේ. යල් කන්නයේදී අලින්ට හැකියාව තිබුණා ඒ අතඇරිච්ච කුඹුරු එහෙම නැත්තන් හෙන්වල වැවෙන ශාක ආහාර‍යට ගන්න. ඉතිං දැන් ඒතත්ත්වෙන් අපි වෙනස් වෙනවා අපි යල් කන්නේ මාස් කන්නේ දෙකම වගාකරන්නට උත්සාහ කරනවා වාරි ජලය ලබාගෙන. දෙවනුව මේ වාරි ව්‍යාපාර ඔස්සේ අලින් ජීවත්වෙන ප්‍රදේශ රාශියක් අද වගාබිම් එහෙම නැත්නම් ජනාවාස බවට පත්වෙලා තියෙනවා. ඉතිං මේ කාරණාප දෙක නිසා අපි දකින්වා එකක්ත මයි අලින්ට ජීවත්වෙන්න තිබෙන ප්‍රදේශය අඩුවෙලා තිබෙනවා. අනිත් එක අලින් ජීවත්වෙන ස්ථාන අතර ගමන්කරන මංපෙත් ගොඩක් ඇහිරිලා තියෙනවා.ඉතිං මේ දෙක නිසා අලින් නිතරම මිනිස්සු ජීවත්වන ප්‍රදේශවලට පැමිණ ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවෙන ස්භාවයක් අපි දකින්නේ.ඒක එන්න එන්න වැඩි වෙනවා.[/quote]

ඇතැම් පිරිස් අලින්ගේ පැමිණීම පාලනයට නිවසේ භාවිත කරන විදුලිය යොදාගෙන රැහැන් ඇදීමෙන් වන අලින් 6 දෙනෙකු මියගොස් තිබුණේ පසුගිය මාසයේදී ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ ‍මහාචාර්ය දේවක වීරකෝන් මහතා

[quote]විදුලි වැටවල් ගැසීම පමණක් නොවෙයි වෙනත් මේ සඳහා පිළියම් තිබෙනවා.ඒ සඳහා මේ වනවිට රජය වෙත ප්‍රතිපත්ති ප්‍රකාශයක් අලි සංරක්ෂණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදාගෙන තිබෙනවා ඒවගේම කළයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ සැලැස්මවල් ඉදිරිපත් කරලා තියෙනවා[/quote]