පහරදීමකින් පසු හෝමාගම සභාපති රෝහල්ගත කෙරෙයි (වීඩියෝ)

පහරදීමකින් පසු හෝමාගම සභාපති රෝහල්ගත කෙරෙයි (වීඩියෝ)

කර්තෘ Sagarika Chathumali

11 Dec, 2013 | 8:33 pm

තමන්ට පහරදුන් බව පවසමින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද පස්වරුවේ රෝහල් ගතවී තිබේ.

අද රැස් වූ ප්‍රාදේශීය සභා රැස්වීමේදී ඇති වූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් සභාවෙන් ඉවත් යන අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇත.

මෙම පහරදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසී ය.

මේ අතර  හෝමාගම  මෙන් ම දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ අය වැය ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අද රැස්වුණු අවස්ථාවේ අර්බුදකාරි තත්ත්වයක් මතු විය.

ඒ සභාපතිවරුන් සභාවෙන් පිටව ගිය පසු අය වැය ඡන්ද විමසීම පැවැත්වීමට උප සභාපතිවරු ඇතුළු මන්ත්‍රිවරු පියවර ගැනීම හේතුවෙනි.

එහිදී එම ප්‍රාදේශීය සභා දෙකෙහිම අය වැය ඡන්ද විමසීම පවත්වා එය පරාජය කිරීමට පියවර ගෙන තිබේ.

මෙහිදී දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ අය වැය ඡන්දවිමසීම පැවැත්වූ ආකාරයේ වලංගු භාවය පිළිබඳව අප  උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරියගෙන් විමසීමක් කළේ ය.

ඇය  පැවසුවේ සභාපතිවරයා සභාව කල් තබා ගියේ නම් එහි වලංගු භාවයක් නොමැති බව ය.