නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත වෙයි

නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Chathuranga Rajapaksha

06 Dec, 2013 | 4:36 am

දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත විය.

විදෙස් මාධ්‍ය පවසන්නේ මැන්ඩෙලාගේ මිය ගිය බවට දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා තහවුරු කර ඇති බව ය.

මිය යනවිට නෙල්සන් මැන්ඩෙලා 95 වන වියේ පසුවිය.

1918 වසරේ ජූලි මස 18 වන දා ඔහු උපත ලැබීමෙන් පසුව ඔහුට තබන ලද්දේ, රෝහිලාලා මැන්ඩෙලා යන නම යි.

ඔහුගේ පියා එවකට පැවති තෙම්බු ජන කොට්ඨාසයේ රජුගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළා.

රෝහිලාලා මැන්ඩෙලාගේ නම නෙල්සන් මැන්ඩෙලා ලෙස වෙනස් කළේ, ඔහු අකුරු කළ කූනුහි ප්‍රාථමික පාසලේ ගුරුතමිය යි.

එම පාසලේ සියලු සිසුන්ට ක්‍රිස්තියානි නම් යෙදීම සම්ප්‍රදායක්ව පැවති හෙයින් ඔහුට නෙල්සන් යන නාමය ලැබුණා.

‍නෙල්සන් මැන්ඩෙලා කුඩා කලදී ම ඔහුගේ පියා මිය ගිය අතර පසුකාලීනව ඔහුට රජුගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව සැලසුණා.

එහිදී සිය මුතුන් මිත්තන්ගේ වීර ක්‍රියා අසා දැන ගත් ඔහුට අවශ්‍ය වූයේ, සිය ජනතාවගේ නිදහස් අරගලයට දායක වීමටයි.

නෙල්සන් මැන්ඩෙලා වර්ණ භේද වාදයට එරෙහිව නැගී සිටි අසහාය නායකයෙකු ලෙස ඉතිහාසගත වුණා.

වර්ණ භේද වාදය පිටුදැකීම සඳහා ඔහු ගෙන ගිය වැඩපිළිවෙළෙහි ප්‍රතිඵලයක් ලෙස වසර 27ක් දකුණු අප්‍රිකානු සුදු පාලනයේ සිරබත් කෑමට ඔහුට සිදු වුණා.

ඔහු 1989  වසරේදී නීතිවේදී උපාධිධරයෙකු බවට පත්වූයේ, සිරගතව සිටියදී ම යි.

එහෙයින් ඔහුට සිය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වුණා.

1990 වසරේදී බන්ධනාගාරයෙන් නිදහස් වූ නෙල්සන් මැන්ඩෙලා ඒ වන විට දකුණු අප්‍රිකානු කළු මිනිසුන්ගේ වීරයා බවට පත්ව තිබුණා.

ඔහු ගෙනගිය අරගලයේ විජයග්‍රහණය සනිටුහන් වූයේ, 1994 වසරේ මැයි 10 වනදා ඔහු දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමත් සමගයි.‍

ඒ අනුව ඔහු දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරීපත් වූ පළමු ජනාධිපතිවරයා ලෙස ද ඉතිහාසගත වුණා.

1999 වසරේදී සිය පළමු ජනාධිපති කාල සීමාව අවසන් වීමත් සමග නෙල්සන් මැන්ඩෙලා එම ධුරයෙන් ඉවත් වූයේ, ඔහු දුන් පොරොන්දු ප්‍රකාරවයි.

ලෝකයට පරමාදර්ශී චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා භෞතිකව සමුගෙන ගිය ද ලෝකයේ ආධ්‍යාත්මය සමග ඔහුගේ මතකය සදා රැ‍‍ඳෙනු ඇත.

 

 

Nelson Mandela passes away newsfirst (2)

 

Nelson Mandela passes away newsfirst (1)

 

Nelson Mandela passes away newsfirst (5)

Nelson Mandela passes away newsfirst (06)

Nelson Mandela passes away newsfirst (07)

Nelson Mandela passes away newsfirst (04)

Nelson Mandela passes away newsfirst (03)

Nelson Mandela passes away newsfirst (08)

Nelson Mandela passes away newsfirst (09)

Nelson Mandela passes away newsfirst (010)

Nelson Mandela passes away newsfirst (011)

Nelson Mandela passes away newsfirst (13)

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]