ඇඹිලිපිටිය සභාපතිටත් ධුරය අහිමිවන ලකුණු

ඇඹිලිපිටිය සභාපතිටත් ධුරය අහිමිවන ලකුණු

කර්තෘ Chathuranga Rajapaksha

05 Dec, 2013 | 5:49 pm

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පළාත් පාලන ආයතන කිහිපයක අයවැය අදත් පරාජයට පත්විය.

ඒ අනුව දෙවැනි වරටත් අයවැය පරාජය වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ද තම ධූරය අහිමිවනු ඇති.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ 2014 වර්ෂය සඳහා අයවැය, අද දෙවැනි වරටත් පරාජයට පත්විය.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා සභාපති එම්.කේ. අමිල මහතා පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළ බව ය.

[quote]අයවැය දෙවනවර පරාජයට පත්වෙලා දින 14 ක කාලයක මට සභාපතිධූරයේ ඉන්න පුළුවන්. නමුත් මම පැහැදිලි ප්‍රකාශයක් කළා. ඒ අනුව අද දින පටන් මම ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාපතිධූරයෙන් කොමසාරිස්වරයාට හෝ ලේකම්වරියට බලය පවරලා මම ඉවත්වෙලා යනවා.[/quote]

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අතර මන්ත්‍රීවරුන් 5 දෙනෙකු විපක්ෂය නියෝජනය කරනු ලැබේ.

අද පැවැති අයවැය දෙවැනි වර ඡන්ද විමසීමේදී අයවැයට විපක්ෂව ඡන්ද 7 ක් ලැබුණ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 5 ක් පමණි.

මේ අතර සන්ධානයට බලය හිමි මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ අයවැය ද අද පරාජයට පත්විය.

එහි උප සභාපති නලින් විජේරත්න මහතා පැවසුවේ, සන්ධානයය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 7 දෙනාගෙන් එක් අයෙකු සභාවට පැමිණ නොසිටි අතර 6 දෙනෙකු අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළ බව ය.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනාම අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළ බව ඔහු පැවසිය.

උප සභාපතිවරයා සඳහන් කළේ, මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.ඒ.කේ.සී. මෙන්ඩිස් මහතා අද අයවැය සභාවට ඉදිරිපත් කළ අතර ඊට විරෝධය පල කරමින් සන්ධාන මන්ත්‍රීවරුන්ම යෝජනා ඉදිරිපත් කළ බව ය.

සන්ධානයට බලය හිමි බලංගොඩ, ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අයවැයත් අද පරාජය විය.

කෙසේ වෙතත් ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව සභාපති ඉන්දු ගුණතිලක මහතා පැවසිය.

බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අයවැය පළමුවර ඡන්ද විමසීම අද පැවැති අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්ද 4 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 8 ක් ලැබී තිබේ.

එම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සිටින අතර මන්ත්‍රීවරුන් 4 දෙනෙක් විපක්ෂය නියෝජනය කරනු ලැබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]