බොර තෙල් ගැනීමේදී ලංකාවට පැනවූ සීමා ලිහිල් කෙරේ

බොර තෙල් ගැනීමේදී ලංකාවට පැනවූ සීමා ලිහිල් කෙරේ

කර්තෘ Chathuranga Rajapaksha

30 Nov, 2013 | 7:56 pm

ඉරානයෙන් බොර තෙල් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපකට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පවසන්නේ පැනවූ සීමා අදාළ රටවල් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මේ තීරණය ගත් බව ය.

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ අමෙරිකාව ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත යටතේ 2012 වසරේ නොවැම්බර් මාසයේදී මෙම සම්බාධක පනවනු ලැබිණි.

ඉරානය සමග තෙල් හා තෙල් නොවන, මිලදී ගැනීම්වලට සම්බන්ධවන බැංකු සමග අමෙරිකානු මහ බැංකුව ගනුදෙනු ඒ අනුව කිරීම සීමා කෙරිණ.

මෙම සම්බාධක දින 180 කට පසුව නැවත සළකා බැලීමේ හැකියාව ද එම පනතින් ලැබී තිබේ.

ශ්‍රී ලංකාව, මලයාසියාව, දකුණු අප්‍රිකාව හා සිංගප්පූරුව යන රටවල් පසුගිය කාලසීමාවේ ඉරානයෙන් බොර තෙල් මිලදී ගෙන නොමැති බැවින් පැවති සම්බාධක ලිහිල් කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය.

‍එහෙත් එම සම්බාධක ලිහිල් කිරීමේ ස්වභාවය පිළිබඳව තවමත් නිශ්චිත පැහැදිලි කිරීමක් නැතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ අමෙරිකාවට අමතරව යුරෝපා සංගමය ද ඉරානයෙන් බොර තෙල් මිලදී ගැනීමට අදාළ සීමා පනවා ඇති බව ය.

මේ වනවිට එම සම්බාධක ලිහිල් කිරීමේ ස්වභාවය පිළිබඳව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් වැඩිදුර තොරතුරු විමසා ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.