භයානක ම රාජ්‍යය, ලොව භයානක ම ආයුධය වෙනුවෙන් තව ත් පියවරක් තැබුවා – ඊශ්‍රායල් අගමැති

භයානක ම රාජ්‍යය, ලොව භයානක ම ආයුධය වෙනුවෙන් තව ත් පියවරක් තැබුවා – ඊශ්‍රායල් අගමැති

භයානක ම රාජ්‍යය, ලොව භයානක ම ආයුධය වෙනුවෙන් තව ත් පියවරක් තැබුවා – ඊශ්‍රායල් අගමැති

කර්තෘ Sagarika Chathumali

25 Nov, 2013 | 12:47 pm

ලෝක නායකයින් සමඟ දින හතරකට වැඩි කාලයක් ජිනීවා නුවර පැවති සාකච්ඡාවලින් අනතුරුව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් මූලික එකඟතාවයකට පැමිණ තිබේ.

අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළේ, දශක ගණනාවකට පසුව පළමු වතාවට ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් මෙවැනි එකඟතාවකට පැමිණීමට හැකි වූ බව ය.

මේ හේතුවෙන් ඉරානයට නව සම්බාධක පැනවීමෙන් තොරව ඉරානය සිය වගකිම ඉෂ්ඨ කරන්නේ ද යන්න පිළිබඳව විමසිල්ලෙන් සිටින බව ඔහු පැවසී ය.

ඇතිකරගත් නව සම්මුතියට අනුව, න්‍යෂ්ටික ආයුධ තැනීම සඳහා යොදා ගන්නා යුරේනියම් සංචිත අඩු කිරීමට ඉරානය එකඟ වී ඇති අතර එයට ප්‍රතිචාර වශයෙන් ඉරානයට එරෙහි ඇතැම් සම්බාධක ලිහිල් කිරීමට ලෝක නායකයින් එකඟ ව තිබේ.

තිරසර එකඟතාවයක් ඇතිකර ගැනීම පිණිස කාලය ලබා දීමේ අරමුණින් මෙම තාවකාලික සම්මුතිය මාස හයක කාලයකට බල පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මේ සම්මුතිය හඳුන්වන්නේ ඓතිහාසික අත්වැරැද්දක් ලෙසිනි.

ලෝකයේ භයානකම රාජ්‍යය, ලොව භයානක ම ආයුධය ලබා ගැනීමේ ක්‍රියාදාමය තව ත් පියවරක් ඉදිරියට තබා ඇති බව ඔහු පැවසී ය.

රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් සම්මුතිය පිළිබඳව ප්‍රසාදය පළ කළ ඉරාන ජනාධිපති හසන් රොහානි ප්‍රකාශ කළේ, කෙසේ නමුත් න්‍යෂ්ඨික බලගැන්වීමේ වැඩසටහන් දිගටම ක්‍රියාත්මක කරන බව ය.

කවර අර්ථ නිරූපණ ලබා දුන්න ද ඉරානය සතු යුරේනියම් බල ගැන්වීමේ අයිතිය ගිවිසුමේ වගන්තිවලින් පිළිගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.