මාලදිවයින් ජනපතිවරණ දෙවන වටයේ ඡන්ද විමසීම අද

මාලදිවයින් ජනපතිවරණ දෙවන වටයේ ඡන්ද විමසීම අද

මාලදිවයින් ජනපතිවරණ දෙවන වටයේ ඡන්ද විමසීම අද

කර්තෘ Staff writer

16 Nov, 2013 | 11:29 am

පසුගිය සෙනසුරාදා පැවති මාලදිවයින් ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිත ය.
ඒජන්සි වාර්තා සඳහන් කරන්නේ, ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති වීම වළක්වාලීමට හැකි ඉක්මනින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත යුතු බව ය.
කෙසේ වෙතත් ඊයේ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් වහීඩ් ධූරයෙන් ඉවත් වූ බව නිවේදනය කළේ ය.
ඒ  මේ මස 11 වනදායින් අවසන් වූ ඔහුගේ ධූර කාලය ඉක්මවා රැඳී සිටීමෙන් අනතුරුව ය.
ජාත්‍යන්තරයෙන් සහ මාලදිවයින් දේශපාලන පක්ෂයන්ගෙන්  එල්ල වූ දැඩි පීඩා හමුවේ මොහොමඩ් වහීඩ් ධූරයෙන් ඉවත් වු බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.
පසුගිය සෙනසුරාදා මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්  47%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර ඉන් අනතුරුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ, නෂීඩ් හට 50%ක බහුතරයක් හිමි නොවීම හේතුවෙන් දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමට කටයුතු කරන බව ය.
කෙසේ වුවත් අද පැවැත්වීමට නියමිත දෙවන වටයේ ඡන්ද විමසීම ඉතා සාමකාමී සහ සරළ එකක් වනු ඇති බවට මාලදිවයින් මැතිවරණ කොමිසම පවසයි.
මේ අතර යුරෝපා සංගමයේ සාමාජිකයින් පවසන්නේ, අද පැවැත්වෙන දෙවන වටයේ ඡන්ද විමසීමේදී මාලදිවයින් ජනතාව කාලෝචිත සහ බුද්ධිමත් තීරණයකට එළඹෙනු ඇති බව ය.