ඉන්දීය අගමැති තවමත් දෙගිඩියාවෙන්

ඉන්දීය අගමැති තවමත් දෙගිඩියාවෙන්

ඉන්දීය අගමැති තවමත් දෙගිඩියාවෙන්

කර්තෘ Staff writer

08 Nov, 2013 | 10:14 pm

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම පිළිබඳව අවසන් තීරණය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය එක්ව ගනු ඇතැයි වාර්තා වේ.
ඉන්දීය කොංග්‍රස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම පක්ෂයේ සහ ඩී.එම්.කේ. පක්ෂ නායකයින්ගේ ස්ථාවරය පිළිබිඹුවන තමිල්නාඩු ජනතාවගේ පරස්පර මතයන්  අසල්වැසි රටක් සමඟ ඇති සබඳතාව එ‍සේම පවත්වාගැනීම යන කරුණුත් මැන බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගනු ඇති බව ය.
මේ අතර ලබන සතියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව විවිධ අදහස් පළ වේ.
මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව ඇති චෝදනා ස්වාධීනව සහ විනිවිදභාවයකින් යුතුව විමර්ශනය කරන ලෙස තමා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඊයේ පැවසීය.
ලබන සතියේ කොළඹදී  පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට ගත් තීරණය තහවුරු කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය ශ්‍රී ලංකා සංචාරය තුළින් වෙනසක් කළ හැකි හොඳ ඉඩ ප්‍රස්ථා ඇති බවට විශ්වාසය පල කළේය.
ඔහු පෙන්වා දුන්නේ පශ්චාත් යුද සමයේ දී ශ්‍රී ලංකාව තුළ ප්‍රගතියක් දක්නට නොවීමේ තත්ත්වයක් තුළ ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය එය වෙත යොමුකළ හැකි බව ය.
මේ අතර දකුණු අප්‍රිකාවේ සාම ක්‍රියාකාරිකයකු වන නොබෙල් ත්‍යාග ලාභී ඩෙස්මන් ටුටූ අගරදගුරු හිමිපාණන් සිය ඉන්දීය සංචාරයෙද් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව ඊයේ අදහස් පල කළේය.
“ශ්‍රී ලංකා රජය ඒකාග්‍රතාවයකින් යුතුව යමක් නොකරන්නේ යැයි කීමට තරම් ප්‍රමාණවත් කරුණු ඇත්නම් මා හිතන්නේ ලෝක ප්‍රජාව ඒ සඳහා කළ හැකි දේ කළ යුතුයි. මම කියන්නේ ඔව්. සමහර විට ඔවුන් නොයායුතුයි. එසේම මට මඟපෙන්වන්නේ එහි සිටින දෙමළ ජනතාවගේ ප්‍රකාශ විනා එහි ගැටළු පිළිබඳව මෙහි සිටින දෙමළ  ජාතිකයින් කරන ප්‍රකාශ නොවේ”
මේ අතර ගමන් කිරීමේ අපේක්ෂාව ඇති සංහිඳියාවේ මාවත තුළ ශ්‍රී ලංකාව තවදුරටත් උනන්දු කරවීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව කදිම අවස්ථාවක් වන බව ඩෙස්මන් ටුටූ අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළ බව ද හින්දු පුවත්පත වාර්තා කළේය.
මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රාජජ්‍ය නායක සමුළුව ඉන්දියාව  ප්‍රතික්ෂේප කරනවානම් දමිළ ජනතාවගේ සහ ධීවරයන්ගේ ප්‍රශ්නය ඍජුව විමසිය හැක්කේ කාගෙන්දැයි, තමිල්නාඩු කොංග්‍රස් පක්ෂයේ නායක පී.එස්. ඥාණදේසිගන් මහතා ප්‍රශ්න කරන බව ද හින්දු පුවත් පත වාර්තා කළේය.
ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව, දේශපාලන පක්ෂ නායකයින් සහ තමිල්නාඩු ධීවර ප්‍රජාවගේ හැඟීම් තේරුම් ගෙන ඉන්දීය මධ්‍ය රජය කඩිනමින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවද ඔහු පවසා ඇතැති එම වාර්තාවේ සඳහන් ය.
තමිල්නාඩු කොංග්‍රස් පක්ෂයේ ඉහළ ධූරාවලියට ද්‍රාවිඩ මුන්නේත්‍ර කලගම් නායක එම්. කරුණානිධි මහතා ද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් ලිපියක් යොමු කර තිබේ.
එම ලිපිය තමිල්නාඩු කොංග්‍රස් පක්ෂය විසින් ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ඉහළ නායකයින් ගේ අවධානය සඳහා යවා ඇතැයි පී.එස්. ඥාණදේසිගන් මහතා ද හින්දු පුවත්පතට පවසා තිබේ.
එහි වැඩි දුරට ත් දැක‍්වෙන්නේ ලංකාවේ සිදුවූවායැයි පැවසෙන යුද අපරාධවලට සම්බන්ධ අය අනිවාර්යෙන් දඩුවම් ලැබිය යුතු බවත් තමිල්නාඩු කොංග්‍රස් පක්ෂයේ නායක පී.එස්. ඥාණදේසිගන් මහතා පවසා ඇති බව ය.