මුතුවැල්ල ධීවර වරාය ආසන්නයේ ඩීසල් කාන්දුවක්!

මුතුවැල්ල ධීවර වරාය ආසන්නයේ ඩීසල් කාන්දුවක්!

by Staff writer 22-11-2026 | 8:11 PM

COLOMBO(News1st) - කොළඹ මුතුවැල්ල ධීවර වරාය ආසන්නයේ සිදුවූ හදිසි ඩීසල් තෙල් කාන්දුව කඩිනමින් පාලනය කිරීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඒ, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් විසිරුම් කළමනාකරණ කණ්ඩායම් විසින්.

කොළඹ වරායේ ජයා බහාලුම් පර්යන්තයට අයත් බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි ගබඩා ටැංකියක නළ මාර්ගයක ඊයේ සිදුවූ හදිසි බිඳවැටීමක් එම ඩීසල් කාන්දුවට හේතු වුණි.

එලෙස කාන්දු වූ ඩීසල්, ප්‍රදේශයේ ප්‍රධාන ජලාපවහන ඇළ මාර්ගය ඔස්සේ මුතුවැල්ල ධීවර වරාය ආසන්නයෙන් මුහුදට ගලා යාම සිදුව ඇතැයි සඳහන්.

වහාම ක්‍රියාත්මක වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් විසිරුම් කළමනාකරණ කණ්ඩායම, මුහුදේ ඩීසල් පැතිරීම වැළැක්වීම සඳහා ඇළ මාර්ගය මුහුදට විවෘත වන ස්ථානයේ විශේෂ තෙල් පාලන බාධකයක් ස්ථාපිත කිරීමට පියවර ගත්තේය.

මේ අතර, වෙරළ තීරයට ගලාවිත් තිබූ ඩීසල් ඉවත්කිරීමේ මෙහෙයුම් ද මේ වන විට ක්‍රියාත්මකයි.