FBI නියෝජිතයින් මෙරට නිලධාරීන් සමග සාකච්ඡා...

සයිබර් අපරාධ වැළැක්වීමට මෙරටට පැමිණි FBI නියෝජිතයින් පිරිස නීතිපති දෙපාර්තමේන්තුවේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර සාකච්ඡා.

by Staff writer 21-11-2026 | 8:51 AM

COLOMBO(News1st) - දිවයිනට පැමිණි ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් FBI නිළධාරින් පිරිස නීතිපති දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ නිළධාරීන් හමුවී සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ,  එම නිළධාරීන් සයිබර් වංචා සහ ජාත්‍යන්තර අපරාධ ජාලයට එරෙහිව කටයුතු කිරීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නියෝජිතයින් සමග සාකච්ඡා කළ බවයි.

එහිදි ඩිජිටල් සාක්ෂි පිළිබඳ පුහුණුව මෙන්ම පොලිස් වැටලීම්වලදී සොයාගත් සාක්ෂි ලබා ගනිමින්, ජාත්‍යන්තර වංචා ජාලයන්ට එරෙහිව සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටද එම නිළධාරීන් පියවර ගෙන තිබේ.

FBI කණ්ඩායම පසුගිය 16 වැනිදා දිවයිනට පැමිණියේ, සයිබර් අපරාධ මර්දනයට දේශීය විමර්ශකයන් සමග එක්ව කටයුතු කිරීමට සඳහායි.

ඔවුන් අද(21) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.