බොරලැස්ගමුව තිදෙනෙකුට අධිකරණයෙන් සිරදඬුවම්...

2022 මැයි 9 වැනිදා බොරලැස්ගමුව නගර සභාවේ නිලධාරීන්ට පහර දී දේපළවලට හානි කළ තිදෙනෙකුට අධිකරණයෙන් සිරදඬුවම්...

by Chathurika Jayasundara 17-11-2026 | 8:17 PM

COLOMBO(News1st) - 2022 මැයි 09 වැනිදා, මහජන අරගලය පැවති දිනයේ බොරලැස්ගමුව නගර සභාවේ නිලධාරීන්ට පහර දී පොදු දේපළවලට අනර්ථයක් කිරීම සම්බන්ධ චුදිතයින් තුන් දෙනකුට කොළඹ මහාධිකරණය අද(17) සිර දඬුවම් නියම කළේය.

අධිචෝදනා පත්‍රයේ සඳහන් නොවූ සුළු වැරදි සඳහා එලෙස දඬුවම් නියම කෙරුණත්, අධිචෝදනාවලින් එම තුන්දෙනා ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරුණි.

නීතිපතිවරයා, විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව එම නඩුව පවරා තිබුණේ අධිචෝදනා 13ක් යටතේයි.

ඒ සියල්ලෙන් විත්තිකරුවන් 6 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා අද නියෝග කළේය.

එලෙස නිදොස් කොට නිදහස් කෙරුණේ ඉන්ද්‍රජිත් නිහාල් අතුකෝරළ, සහන් චතුරංග, ප්‍රදීප් සමන්ත, නාමල් දිමුතු කුමාර, ක්‍රිපාන්ත කමලජිත්, රුවන් ලක්මාල් යන විත්තිකරුවන් 6 දෙනායි.

2022 මැයි 09 වැනිදා, බොරලැස්ගමුව නගර සභාවට අයත් රුපියල් තුන් ලක්ෂ හැත්තෑ දහසකට අධික වටිනාකමකින් යුතු ජීප් රථයකට, තක්සේරු වාර්තාවකට, නගර සභාවේ ප්‍රධාන ගේට්ටුවට සහ දොර ජනේලවලට හානි කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා එම නඩුව පවරා තිබුණේ 2023 වසරේදීයි.

නගර සභාවේ නිලධාරින් දස දෙනෙකුට පහර දී අඩත්තේට්ටම් කර සාපරාධී බලහත්කාරය සිදු කිරීම සම්බන්ධයෙන් චුදිතයන් දඬුවම් ලැබිය හැකි වැරදි සිදු කර ඇතැයි පවසමින් අධිචෝදනා පත්‍ර ගොනු කර තිබුණි.

ඉන්ද්‍රජිත් නිහාල් අතුකෝරළ, සහන් චතුරංග සහ රුවන් ලක්මාල් යන තුන්දෙනාට සුළු වැරදිවලට අදාළව දඬුවම් නියම කිරීමට අධිකරණය තීරණය කළේය.

පළමු විත්තිකරුට මාස 3ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්ද, දෙවන විත්තිකරුට මාස 8ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සමග මාස තුනක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණු අතර, හය වන විත්තිකරුට මාස 8 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවම් දෙකක් නියම කෙරුණේ එකවර ගෙවී යන ලෙසයි.