.webp)

ඔහු මේ බව සඳහන් කළේ, සිය සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින් ය.
මීට වසර දෙකකට පෙර අද වැනි දිනයක තමන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කල බවත්, එහි ප්‍රතිඵලය තමන් බලාපොරොත්තු වූ පරිදි නොවූවද, එය තමන්ගේ ජීවිතයේ වැදගත් පරිච්ඡේදයක් වුණු බවත් හිටපු අමාත්‍ය කංචන විජේසේකර සිය සමාජ මාධ්‍ය සටහනේ සඳහන් කර තිබේ.
ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඉන් මාසයකට පසු තමන් දේශපාලනයෙන් සහ ඊට අදාළ සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වූ බවයි.
හිටපු අමාත්‍ය කංචන විජේසේකරගේ සමාජ මාධ්‍ය සටහන
උපුටා ගැනීම
''දේශපාලනයේ නිරතව සිටි කාලය තුළ මට ලැබුණු අවස්ථා මෙන්ම, මා කෙරෙහි තැබූ විශ්වාසය සහ මා සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු සියලු දෙනාගෙන් ලැබුණු මඟපෙන්වීම්, නායකත්වය සහ දිරිගැන්වීම් වෙනුවෙන් මම අවංකවම කෘතඥ වෙමි. එම කාල පරිච්ඡේදය දෙස අද යළි හැරී බලන්නේ කෘතඥතාවයෙනි.දේශපාලන ක්ෂේත්රයේ සිට ආයතනික ක්ෂේත්රයට මාරු වීමේ ක්‍රියාවලිය ආරම්භ කර මේ වනවිට මාස 23ක් ගත වී ඇත. එය මුලින් අර්ධකාලීන කටයුත්තක් ලෙස ආරම්භ වුවද, ක්‍රමයෙන් පූර්ණකාලීන වගකීමක් සහ කැපවීමක් බවට පත්ව ඇත. මම එම කාර්යය අවංකවම භුක්ති විඳින අතර, එය මට මහත් තෘප්තියක් ද ගෙන දෙයි.ජීවිතයේ සෑම පරිච්ඡේදයකටම ඊට ආවේණික වූ අරමුණක් පවතී. ඇතැම් පරිච්ඡේද අපට යම් යම් පාඩම් උගන්වන අතර, තවත් සමහරක් අපව හැඩගස්වයි. ඇතැම් අවස්ථාවලදී ඒවා අප සම්පූර්ණයෙන්ම වෙනස් ගමනක් සඳහා සූදානම් කරයි. අද දිනය මට සිහිපත් කිරීම්, ආවර්ජනය කිරීම් සහ කෘතඥතාව පළකිරීම්වලින් පිරුණු දිනයකි''
උපුටා ගැනීම අවසන්
2015 වසරේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජානතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කංචන විජේසේකර පසුව ශ්‍රී ලංකා පොදුජන පෙමුණට එකතු විය.
ඔහු විවිධ රජයන් යටතේ රාජ්‍ය අමාත්‍ය ධුර සහ කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක්ම හොබවා ඇති අතර අවසන් වරට 2024 සැප්තැම්බර් දක්වා ඔහු විදුලිබල හා බලශක්ති අමාත්‍යධූරයේ කටයුතු කළේ ය.
