පළාත් 5කට අදත් 100mmට වැඩි තද වැසි...

පළාත් 5කට අදත් 100mmට වැඩි තද වැසි... - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 12-11-2026 | 8:33 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අදත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි.

කළු ගඟේ, කුඩා ගඟ ද්‍රෝණිය ආශ්‍රිත ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

බුලත්සිංහල , මදුරාවල සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙන්ම  කුඩා ගඟ සහ මඟුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතුයි.

මේ අතර ගිං ගඟ සහ අත්තනගලු ඔය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර ඇත.

එම ගංගා ද්‍රෝණිවල පහත්බිම්වල පදිංචි ජනතාව ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුයි.

නිල්වලා ගඟ, තල්ගහගොඩින් තවදුරටත් පවතින්නේ සුළු ගංවතුර මට්ටමේයි.

මේ අතර, කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගල් පෙරළීමට ලක් වූ කඩුගන්නාව ප්‍රදේශයේ වාහන ධාවනය තවදුරටත් එක් මංතීරුවකට සීමා කර තිබේ.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ප්‍රකාශ කළේ, රාත්‍රී කාලයේ වාහන ධාවනයේදී විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.

අධික වැසි සමග දිස්ත්‍රික්ක ‍7කට  නිකුත් කළ නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලාත්මකයි.

කෑගල්ල, නුවරඑළිය, රත්නපුර, බදුල්ල, මහනුවර, ‍කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත්.