11-10-2026 දිනට අදාළ කැබිනට් තීරණ

11-10-2026 දිනට අදාළ කැබිනට් තීරණ

by Staff writer 10-11-2026 | 3:52 PM

COLOMBO(News1st) - 2027 වර්ෂය වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ


- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව ස්ථාපිත කර ඇති පළාත් සභා සඳහා අවශ්‍ය සම්පත් පිළිබඳව සහ පළාත් සභා සඳහා ජාතික අයවැයෙන් වෙන් කෙරෙන ප්‍රදානයන් එක් එක් පළාත් සභා වෙත වෙන් කර දීමේදී අනුගමනය කළ යුතු මූලධර්ම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි මුදල් කොමිෂන් සභාව වෙත පැවරී තිබේ. ඒ අනුව, රට තුළ තුලිත ප්‍රාදේශීය සංවර්ධනයක් අත් කර ගැනීම අරමුණු කර ගනිමින් 2027 වර්ෂය සඳහා වාර්ෂික අයවැයෙන් පළාත් සභා සඳහා වෙන් කෙරෙන අරමුදල්, පළාත් අතර ‌බෙදා දීමේදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සහ පළාත් සභා වෙත පැවරී ඇති විෂයයන්ට අදාළ සේවා වඩාත් කාර්යක්ෂමව සැපයීම සඳහා අවශ්‍ය වන රජයේ මැදිහත් වීම් සම්බන්ධයෙන් මුදල් කොමිෂන් සභාව විසින් සිය නිර්දේශ ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ ව්‍යවස්ථාවේ (7) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි එම නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු ඉලිනෝයි විශ්වවිද්‍යාලයේ භාරකාර මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම


- අධ්‍යයන කටයුතුවල විශිෂ්ටත්වය ළඟා කර ගැනීම, දැනුම වැඩිදියුණු කිරීම හා ව්‍යාප්ත කිරීම සඳහා කටයුතු කරමින් දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් යාපනය විශ්වවිද්‍යාලය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු ඉලිනෝයි විශ්වවිද්‍යාලයේ භාරකාර මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා කරනු ලැබ තිබේ. ඒකාබද්ධ පර්යේෂණ සහ අධ්‍යාපන කටයුතුවල නිරත වීම, සියලුම අධ්‍යයන ක්ෂේත්‍රවල පර්යේෂණ, දේශන සහ සාකච්ඡා සඳහා ආචාර්ය මණ්ඩල හුවමාරුව තුළින් ජාත්‍යන්තර අත්දැකීම් ප්‍රවර්ධනය කිරීම, ඉගෙනීම, පර්යේෂණ සහ සීමාවාසික පුහුණුව සඳහා උපාධි සහ පශ්චාත් උපාධි සිසුන් හුවමාරු කර ගැනීම දිරිමත් කිරීම, ඒකාබද්ධ සමුළු, සම්මේලන සහ සම්මන්ත්‍රණ සංවිධාන කිරීම සහ තොරතුරු හුවමාරුව පහසු කිරීම සඳහා එකී විශ්වවිද්‍යාල දෙකෙහි වෙබ් අඩවි සම්බන්ධ කිරීම යන ක්‍රියාකාරකම්වලදී සහයෝගයෙන් කටයුතු කිරීම යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම මඟින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, අත්සන් තැබූ දින සිට වසර පහක් (05) දක්වා වන කාලයක් සඳහා බලාත්මක වන පරිදි, ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු ඉලිනෝයි විශ්වවිද්‍යාලයේ භාරකාර මණ්ඩලය අතර යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 100ක් සපයා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම


- ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදානයක් යොදා ගනිමින් 2016 වර්ෂයේදී 1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව ආරම්භ කරනු ලැබ ඇති අතර, 2018 වර්ෂයේදී එය දිවයින පුරා ව්‍යාප්ත කරනු ලැබ තිබේ. එමඟින්, සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැය 24 පුරා නොමිලේ සේවාව සපයන අතර, දිනකට රෝගී ප්‍රවාහන අවස්ථාවන් 1,000 - 1,200ක ප්‍රමාණයක් හැසිරවීම සිදු වේ. මෙම ගිලන් රථ වාර්ෂිකව කිලෝමීටර මිලියන 9 ක පමණ දුරක් ධාවනයේ යෙදෙන අතර එම තත්ත්වය මත වර්තමාන ගිලන් රථ සමූහයට අයත් ගිලන් රථ 322 හි කාර්මික දෝෂ ඇති වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා රජය විසින් කරනු ලැබ ඇති විශේෂ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන, 1990 සුවසැරිය සේවාව සඳහා භාවිත කිරීම පිණිස සම්පූර්ණ වෛද්‍ය පහසුකම්වලින් සමන්විත නව ගිලන් රථ 100ක් සපයා ගැනීමට හැකි වන පරිදි මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී මූල්‍ය ප්‍රදානය ලබා ගැනීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් මේසන් විශ්වවිද්‍යාලය සහ නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම

- පර්යේෂණ අභියෝග හඳුනාගැනීම සහ තාක්ෂණික විසඳුම් සංවර්ධනය කිරීම ඇතුළුව දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභදායක පර්යේෂණ සහයෝගිතාවක් සඳහා පහසුකම් සලසා ගැනීම අරමුණු කර ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් මේසන් විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබේ. වසර පහක (05) කාලයකට බලාත්මක වන එම අවබෝධතා ගිවිසුම යටතේ දෙපාර්ශ්වය විසින් සයිබර් ආරක්ෂාව, මිනිසුන් රහිත ගුවන් යානා, අභ්‍යවකාශ හා චන්ද්‍රිකා, කෘත්‍රිම බුද්ධිය හා යන්ත්‍ර ඉගෙනීම සහ 5G සන්නිවේදනය යන ක්ෂේත්‍රවල සහයෝගිතාව සඳහා කටයුතු කිරීමට එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් මේසන් විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය අතර යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'ක්ලීන් ශ්‍රී ලංකා - පිවිතුරු පුරවර' ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතියෙහි සංරචකයක් ලෙස පළාත් සභා සහ පළාත් පාලන ආයතන සමඟ එක්ව 'ගෘහස්ථ කොම්පෝස්ට් සකස් කිරීමේ' ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම


- ශ්‍රී ලංකාව තුළ දෛනිකව ජනනය වන ඝන අපද්‍රව්‍යවලින් 50% - 60%ක ප්‍රමාණයක් ජෛව හායනය වන කාබනික ද්‍රව්‍යවලින් සමන්විත වන බවත්, එම කසළ නිවෙස්වලදීම කොම්පෝස්ට් බවට පත් කිරීම මඟින් කසළ එකතු කිරීම, ප්‍රවාහනය කිරීම, වෙන් කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම හා අවසන් බැහැර කිරීම සඳහා දරනු ලබන මූල්‍ය හා මෙහෙයුම් පිරිවැය සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගත හැකි බවත් හඳුනාගනු ලැබ ඇත. එබැවින්, කසළ ජනනයේ සිට අවසන් බැහැර කිරීම දක්වා ආවරණය වන පරිදි තිරසර විසඳුමක් වශයෙන් 2027-2029 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත 'ක්ලීන් ශ්‍රී ලංකා - පිවිතුරු පුරවර' ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය යට‌තේ, එහි එක් සංරචකයක් ලෙස ගෘහස්ථව ජනනය වන දිරන කසළ කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. සියලුම පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි එම ආයතන විසින් තෝරා ගත් වීථි කොටස් කාබනික කසළ එකතු කිරීමේ සේවාවන් සැපයීමෙන් තොර කලාප බවට පත් කිරීම සඳහා අදාළ නිවාස ඒකක වෙත ගෘහස්ථ කොම්පෝස්ට් බඳුන් ලබා දී, දිරන කසළ එම නිවාස පරිශ්‍ර තුළම කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම එමඟින් සිදු කෙරෙනු ඇත. කසළ කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය භෞතික පහසුකම (කොම්පෝස්ට් බඳුන), දැනුම හා තාක්ෂණික මග පෙන්වීම, සියලුම පළාත් පාලන ආයතනවල අධීක්ෂණය සහ ගෘහස්ථ මට්ටමේ අඛණ්ඩ භාවිතය එකම ක්‍රියාකාරී පද්ධතියක් තුළ සම්බන්ධ කිරීමට මෙම මැදිහත් වීම මඟින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, 'ක්ලීන් ශ්‍රී ලංකා - පිවිතුරු පුරවර' ඝන අපද්‍රව්‍ය කළමනාකරණ තුන් අවුරුදු ව්‍යාපෘතියේ එක් ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර හා දකුණු පළාත් ආවරණය වන පරිදි ගෘහස්ථ කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතිය ප්‍රථමයෙන් ක්‍රියාත්මක කිරීමටත්, එහි සාර්ථකත්වය මත පදනම්ව එකී ව්‍යාපෘතිය අනෙකුත් පළාත්වලට ව්‍යාප්ත කිරීමටත්, ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මහල් දහයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

- ආර්ථික අර්බුදකාරී තත්ත්වය මත නවතා දමා තිබූ කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මහල් දහයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට 2025-02-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 10ක් ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Sathuta Builders (Pvt) Ltd වෙත රුපියල් බිලියන 1.73ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ශක්තිමත් සහ සියල්ලන් ඇතුළත් මූල්‍ය පරිසර පද්ධතියක් ගොඩනැගීමේ ආංශික සංවර්ධන වැඩසටහන (උපවැඩසටහන 1) සඳහා මූල්‍ය සහාය ලබා ගැනීම


- ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම පිණිස උපවැඩසටහන් 05ක් යටතේ ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 620ක ප්‍රතිපත්ති පාදක ණය ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ණය සාකච්ඡා පැවැත්වීමට 2026-03-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එකී අනුමැතිය පරිදි, එහි උපවැඩසටහන 1 වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ශක්තිමත් සහ සියල්ලන් ඇතුළත් මූල්‍ය පරිසර පද්ධතියක් ගොඩනැගීමේ ආංශික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ණය මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව සමඟ විධිමත් ණය සාකච්ඡා පවත්වා අවසන් කර තිබේ. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මඟින් ලබා දෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වූ ප්‍රතිපත්තිපාදක ණය සංරචකයකින් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වූ මූල්‍ය මැදිහත්වීම් ණය සංරචකයකින් සමන්විත එකී ණය මුදල ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ගිවිසුම්ගත වීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික මහාමාර්ග පුළුල් කිරීම සහ මාර්ග යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම

- ජාතික මහාමාර්ග පුළුල් කිරීමේ හා වැඩිදියුණු කිරීමේ වැඩසටහන සහ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ හා වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ මාර්ග කොටස් කිහිපයක් වැඩිදියුණු කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව අදාළ ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන්ට පහත සඳහන් පරිදි එකී කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

මාතලේ දුම්රිය මාර්ගයේ සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදි කිරීම


- මහනුවර මහ නගර ප්‍රදේශය ආවරණය වන පරිදි පුළුල් තදාසන්න දුම්රිය ජාලයක් සංවර්ධනය කිරීමේ අරමුණින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් මේ වන විට සිදු කරමින් පවතී. එකී ව්‍යාපෘතියේ විෂය පථයට පේරාදෙණිය හරහා කඩුගන්නාව සිට ගම්පොළ දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම සහ පේරාදෙණිය සිට කටුගස්තොට දක්වා මාතලේ දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීම ඇතුළත් වේ. සැලසුම් කර ඇති ද්විත්ව දුම්රිය මාර්ගය සම්පූර්ණ කිරීම, දැනට පවතින තනි දුම්රිය මාර්ගය හේතුවෙන් ඇති වී තිබෙන ධාරිතා අවහිරතාව ඉවත් කිරීම සහ දුම්රිය ජාලයේ විශ්වසනීයත්වය හා සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සඳහා එකී ව්‍යාපෘතිය යටතේ පියවර ගත යුතු බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ දුම්රිය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා වන ඉන්දීය ණය ආධාර යෝජනා ක්‍රමය මඟින් මූල්‍ය සහාය ලබා ගනිමින් මාතලේ දුම්රිය මාර්ගය ජාතික දුම්රිය ජාලය සමඟ ඒකාබද්ධ කිරීමට හැකි වන පරිදි සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදි කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


2025 අංක 1 දරන පශු වෛද්‍ය සහ පශු වෛද්‍ය වෘත්තික (අපකීර්තිමත් හැසිරීම) නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම

- ශ්‍රී ලංකාවේ පශු වෛද්‍යවරුන් සහ පශු වෛද්‍ය වෘත්තිකයින් ලියාපදිංචි කිරීම සඳහා නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම, ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් නියම කිරීම සහ පශු වෛද්‍ය වෘත්තිය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාව පිහිටුවීමේ අරමුණින් 1956 අංක 46 දරන පශු වෛද්‍ය සහ පශු වෛද්‍ය වෘත්තික පනත හඳුන්ව‍ා දී ඇත. එකී පනතේ විධිවිධාන යටතේ පශු වෛද්‍ය වෘත්තියට අදාළව 'අපකීර්තිමත් හැසිරීම' යනුවෙන් සැලකෙන වෘත්තීය අපචාර, තනතුර අවභාවිත කරනු ලබන යම් ක්‍රියා හෝ නොකර හැරීම් ආදිය නිර්වචනය කිරීම, එවැනි හැසිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 'පරීක්ෂණ මණ්ඩල' පත් කිරීමේ ක්‍රමවේදය ස්ථාපිත කිරීම සහ වරදකරු වූවන් සඳහා ලියාපදිංචිය තාවකාලිකව හා අත්හිටුවීම අවලංගු කිරීම, අවවාද කිරීම යන දඬුවම් නියම කිරීමේ බලය ශ්‍රී ලංකා පශු වෛද්‍ය සභාවට ලබා දීම අරමුණු කර ගනිමින් සාදන ලද නියෝග 2026-01-05 දිනැති අංක 2470/12 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. ඒ අනුව, එලෙස ප්‍රකාශයට පත් කරන ලද '2025 අංක 1 දරන පශු වෛද්‍ය සහ පශු වෛද්‍ය වෘත්තික (අපකීර්තිමත් හැසිරීම) නියෝග' අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.