NVIDIA ප්‍රධානියා චීන බුද්ධි අංශ ඉලක්කයක් වූවාද?

ලොව ප්‍රබල AI සමාගමක් වන NVIDIA හි ප්‍රධානියා චීන බුද්ධි අංශ ඉලක්කයක් වූවාද? සමාගමෙන් විශේෂ විමර්ශනයක්!

by Janitha Mendis 09-11-2026 | 6:26 AM

COLOMBO (News 1st) - ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන NVIDIA හි ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං, චීන බුද්ධි අංශ මෙහෙයුමක ඉලක්කයක් වී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කිරීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජෙන්සන් හුවාං සහ චීන ජාතික ව්‍යාපාරික කාන්තාවක අතර පැවති සමීප සබඳතාවක් පිළිබඳව ඇමරිකානු බුද්ධි අංශ අවධානය යොමු කර ඇති බවයි.

The New York Times පුවත්පත පසුගිය ඔක්තෝබර් මාසයේදී මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබූ අතර, අදාළ කාන්තාව බීජිං වෙත තොරතුරු ලබා දී ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ සැක පළ කර ඇතැයි එම වාර්තාවල සඳහන් වේ.

ඇය චීනයේ හිටපු රූපවාහිනී මාධ්‍යවේදිනියක වන ඇලිස් හුවාං වන අතර, පසුව සිංගප්පූරුවේ පිහිටි Megaspeed නමැති දත්ත මධ්‍යස්ථාන සමාගමේ ඉහළ විධායක තනතුරක් දරා තිබේ.

එම සමාගම NVIDIA හි අග්නිදිග ආසියානු කලාපයේ ප්‍රධාන පාරිභෝගිකයෙකු වන අතර, පසුගිය වසර දෙක තුළ NVIDIA චිප්ස් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8කට අධික මුදලක් වැය කර ඇති බවට ද වාර්තා පළ වී තිබේ.

මේ අතර, NVIDIA අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කර ඇත්තේ ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත කමිටුවක් සහ බාහිර නීති උපදේශකවරුන්ගේ සහාය ඇතිව මෙම විමර්ශනය සිදුකරන බවයි.

කෙසේ වෙතත්, මේ වන විට ඇමරිකානු ජාතික ආරක්ෂාවට හෝ NVIDIA සමාගමේ රහස්‍ය තාක්ෂණික තොරතුරුවලට හානියක් සිදුවී ඇති බවට විශ්වාස කිරීමට කිසිදු හේතුවක් නොමැති බව ද එම සමාගම අවධාරණය කර තිබේ.

මෙම විමර්ශනයට පූර්ණ සහාය ලබාදෙන බව ජෙන්සන් හුවාං ද ප්‍රකාශ කර ඇති අතර, ඔහු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයේ අඛණ්ඩව කටයුතු කරන බව NVIDIA සමාගම සඳහන් කරයි.

මේ අතර, සිය සේවකයින් වෙත යොමු කළ පණිවුඩයකින් ජෙන්සන් හුවාං සිය පවුලේ සාමාජිකයින්ගෙන් සමාව අයැද තිබේ. සිය බිරිඳට සහ දරුවන්ට වේදනාවක් ඇති කළ බව පිළිගත් ඔහු, තම ක්‍රියාවන්හි සම්පූර්ණ වගකීම භාරගන්නා බව ද සඳහන් කර ඇත.

එමෙන්ම, අදාළ වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මේ මාසයේදී ඇමරිකානු කොංග්‍රසය හමුවේ පෙනී සිටින ලෙස ද රිපබ්ලිකන් පක්ෂයේ ඉහළ පෙළේ නීති සම්පාදකයින් ජෙන්සන් හුවාංගෙන් ඉල්ලා තිබේ.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය අතිනවීන අර්ධ සන්නායක නිෂ්පාදනයේ ප්‍රමුඛ සමාගමක් වන NVIDIA, ඇමරිකාව සහ චීනය අතර තාක්ෂණික තරගයේ ද ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.

චීනයට අතිනවීන ඇමරිකානු අර්ධ සන්නායක තාක්ෂණය ලබාගැනීම සීමා කිරීම සඳහා ඇමරිකාව අපනයන පාලන නීති ක්‍රියාත්මක කර ඇති පසුබිමක මෙම සිදුවීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.