රුවන්පුර අධිවේගී මගේ ඉදිකිරීම් ලබන මාසයේ සිට

රුවන්පුර අධිවේගී මගේ ඉදිකිරීම් ලබන මාසයේ සිට

by Staff writer 08-11-2026 | 12:51 PM

COLOMBO (News1st) - 
රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් එළැඹෙන මස මුල් සතියේ ආරම්භ කිරිමට තීරණය කර තිබේ.

ඒ , නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ය.

ඉදිකිරීම්වලට අදාළව දැනට ක්‍රියාත්මක වන ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය, මතුව ඇති තාක්ෂණික හා පරිපාලනමය ගැටලු මෙන්ම ප්‍රදේශවාසීන්ට සිදුවන බලපෑම් පිළිබඳව සොයා බැලීම සිදු කර තිබේ.

ඉඩම් හා දේපළ අහිමි වන ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කිරීම සහ ඉඩම් අත්පත් කර ගැනීමේදී අදාළ හිමිකරුවන්ට සහ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට උපරිම සාධාරණ වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇතැයි සඳහන් ය.

එමෙන්ම, මාර්ග ඉදිකිරීම් හේතුවෙන් අවතැන් වන පවුල් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව සිදු කිරීමේ අවශ්‍යතාව මෙන්ම ප්‍රදේශවාසීන්ගේ අනෙකුත් පොදු ප්‍රජා අවශ්‍යතා හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් සැලසීම පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව තිබේ.