.webp)
-627382.jpg)
COLOMBO(News1st) - ශ්‍රී ලංකාවේ ආනයන, අපනයන සහ වෙළඳ කටයුතු විධිමත් කිරීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
එය නිකුත් කර ඇත්තේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි.
2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ එම නව රෙගුලාසි අනුමත කර තිබේ.
එම නව නියෝග හරහා "One TRADE" නමින් හැඳින්වෙන ජාතික වෙළඳ තනි කවුළු (National Single Window) ඉලෙක්ට්‍රොනික තොරතුරු පද්ධතිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරෙනු ඇති.
එම පද්ධතියේ බලයලත් ක්‍රියාකරු ලෙස රජයේ අනුබද්ධ ආයතනයක් වන "GovTech Sri Lanka (Pvt) Ltd" ආයතනය පත්කර තිබේ.
ආනයනකරුවන්ට, අපනයනකරුවන්ට සහ වෙළඳ නියාමන ආයතනවලට තම ලේඛන සහ දත්ත ආරක්ෂිතව හා ඉක්මනින් එකම ඩිජිටල් ද්වාරයක් හරහා හුවමාරු කර ගැනීමට මෙයින් අවස්ථාව හිමිවනු ඇති.
"One TRADE" පද්ධතිය හරහා ඉදිරිපත් කරනු ලබන ඕනෑම ඉලෙක්ට්‍රොනික වාර්තාවකට හෝ ලේඛනයකට සාම්ප්‍රදායික කඩදාසි ලේඛනවලට සමාන පූර්ණ නීතිමය බලයක් සහ වලංගු භාවයක් හිමි වන බව සඳහන් වේ.
වෙළඳ භාණ්ඩ ආනයනය, අපනයනය හෝ අන්තර්ජාලය හරහා සිදු කෙරෙන ප්‍රවාහන කටයුතුවලදී පැන නඟින ගනුදෙනු සඳහා ද මෙම නියාමන රාමුව දැඩි ලෙස බලපැවැත්වැත්වෙන බව ගැසට් නිවේදනයේ දැක්වේ.
අදාළ නියාමන ආයතනවලට ඉලෙක්ට්‍රොනික ක්‍රම මඟින් ලැබෙන ලේඛන පරීක්ෂා කිරීමට, අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට මෙමඟින් නීතිමය ඉඩකඩ සලසා දී තිබේ.
ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඇතුළු වෙළඳ නියාමන ආයතන යටතේ පාලනය වන නිශ්චිත නිෂ්පාදන හා භාණ්ඩ වර්ග සඳහා ද මෙම ඩිජිටල් ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.
