බන්ධනාගාර ආඥා පනත සංශෝධන වාර්තාව ගැන දැනුම්දීමක්

බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ කමිටුව සකස් කරන වාර්තාව මහානායක හිමිවරුන්ට ද යොමු කිරීමට පියවර ගන්නවා - බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

by Staff writer 11-10-2026 | 8:22 AM

COLOMBO(News1st) - බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලින කිරීමට පත් කළ කමිටුව විසින් සකස් කරන වාර්තාව මහානායක හිමිවරුන්ට ද යොමු කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. 
කමිටු වාර්තාව, ලබන බ්‍රහස්පතින්දා ජනාධිපති ලේකම්වරයාට භාරදෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර පැවසුවේ ය.

බන්ධනාගාර ගතවන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනතේ සදහන් රෙගුලාසි හා නිත්‍ය නියෝග කිහිපයක් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක්, පෙරේදා පස්වරුවේ පැවැත්වුණ.

ඒ, බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලින කිරීමට පත් කළ කමිටුව ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී ය.

ඔහු ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධ අවසන් තීරණයක් ගැනීමට ලබන සඳුදා ද කමිටුව යළි රැස්වන බවයි.

කමිටු වාර්තාව, ලබන බ්‍රහස්පතින්දා ජනාධිපති ලේකම්වරයාට භාරදීමට නියමිත බවත් ඔහු පැවසුවේ ය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක, එහි සෙසු සාමාජිකයින් ය.

බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ ආඥා පනත මගින් පනවන ලද නිත්‍ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කිරීම සහ වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය සහ ප්‍රායෝගික අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි යාවත්කාලීන කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් එම කමිටුව පත් කළේ ය.