ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්!

ශ්‍රී ලංකා මුහුද විනාශ කරමින් මසුන් අල්ලන්න යන්න එපා, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

by Staff writer 07-10-2026 | 10:13 PM

COLOMBO(News1st) - ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝණය කිරීම් නැවැත්වීමට එම ධීවරයන්ට අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය මධ්‍යම රජයට හා තමිල්නාඩු රජයට නියෝග කර ති‍බේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරය අවධාරණය කලේ ශ්‍රී ලංකාව සිය වෙරළ කලාප සහ මත්ස්‍ය සම්පත් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වඩාත් වගකීම් සහගත ප්‍රවේශයක් අනුගමනය කර ඇතැයි පෙනී යන බවයි.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීම ඉන්දීය ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා ධීවරයින් ඇතුළු පිරිසක් ඉන්දීය  ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර ති‍බේ.

ඊයේ මෙම පෙත්සම සංජේ කුමාර් සහ සංජීව් සච්දේව් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණි.

එහිදී අධිකරණය දැනුම්දී තිබුනේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමේ අවදානම පිළිබඳව ධීවරයින් දැනුවත් කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

ධීවරයින්ට ජාත්‍යන්තර මුහුදු සීමාවේ පිහිටීම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දීම සහ එය ඉක්මවා නොයන ලෙස කටයුතු කිරීම, ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් විය හැකි බවද විනිසුරු මඩුල්ලේ අදහස වුණි.

පෙත්සම විභාගය අතරතුර සිදු කළ සුවිශේෂී නිරීක්ෂණයකදී විනිසුරු සංජේ කුමාර් සඳහන් කළේ, ඉන්දීය වෙරළ තීරයට ආසන්න මුහුදු ප්‍රදේශවල මත්ස්‍ය සම්පත් අධික ලෙස භාවිත කර ඇති බවක් පෙනී යන බවයි.

ශ්‍රී ලංකාව සිය වෙරළ කලාප සහ මත්ස්‍ය සම්පත් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වඩාත් වගකීම් සහගත ප්‍රවේශයක් අනුගමනය කර ඇති බව පෙනී යන බවද විනිසුරුවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවක් සිහිපත් කළ විනිසුරුවරයා, ශ්‍රී ලාංකික ජනතාව පෙන්නුම් කරන වගකීම් සහගත හැසිරීම පිළිබඳව සිය අවධානය යොමු වූ බව සඳහන් කළ අතර, එවැනි පරිසර හිතකාමී ප්‍රවේශයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත් සංරක්ෂණයට ද යම් දායකත්වයක් ලබා දී තිබිය හැකි බව ප්‍රකාශ කළේය.

මේ අතර කච්චතිව් යළි පවරාගැනීමක් පිළිබඳව ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමේ කිසිදු අදහසක් නොමැති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකාව සමග ඇති යහපත් සබදතාව කච්චතිව් පිළිබඳව සාකච්ඡාකර පළුදු කර ගැනීමේ කිසිදු අදහසක් මධ්‍යම රජයට නොමැති බවද නීතිපතිවරයා  කියා සිටියේය.