රුමේෂ් තරංග අද ආසියානු තරග බිමට...

තවත් රන් පදක්කම් බලාපොරොත්තුවක් සහිතව රුමේෂ් තරංග අද ආසියානු තරග බිමට...

by Staff writer 28-09-2026 | 8:57 AM

COLOMBO (News 1st) - රන් පදක්කම් බලාපොරොත්තුවක් සහිතව, ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග අද (28) පස්වරුවේ තරග බිමට පිවිසේ.

ඒ 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරගය සඳහායි.

රුමේෂ් මේ වසරේදී පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම, ඩයමන්ඩ් ලීග් ශූරතාව, වර්ල්ඩ් අල්ටිමේට් ශූරතාව ඇතුළු ජයග්‍රහණ රැසක් ලබා ගත්තේ ය.

සුමේධ රණසිංහද අද ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි.

ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරගය මෙරට වෙලාවෙන් අද පස්වරු 04.45ට ආරම්භ කිරීමට නියමිතවේ.

මේ අතර, අයෝමාල් අකලංක ක්‍රීඩා උළෙලේ මීටර 400 පිරිමි කඩුලු මතින් දිවීම ඉසව්වේ අවසන් තරගයට අද පස්වරුවේ එක්වේ.

එම තරගය මෙරට වෙලාවෙන් අද පස්වරු 04.03ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන මීටර 100 පිරිමි සහය ධාවන ඉසව්වේ අවසන් තරගයද අද පැවැත්වේ.

එම තරගය මෙරට වෙලාවෙන් අද පස්වරු 06.53ට ආරම්භ කිරීමට නියමිතව ඇත.

20වැනි ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ජපානයේ සත්කාරකත්වයෙනි.