අමාත්‍ය විජිත හේරත් අද අමෙරිකාවට

අමාත්‍ය විජිත හේරත් අද අමෙරිකාවට

by Staff writer 26-09-2026 | 10:16 AM

COLOMBO(News1st) - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීම සඳහා විදේශ අමාත්‍ය විජිත හේරත් අද අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, අමාත්‍යවරයා ලබන සඳුදා පැවැත්වෙන මහා මණ්ඩල විවාදයේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කරනු ඇති.

සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ එහිදී අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

පසුගිය 22 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය, ලබන 28 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර එය පැවැත්වෙන්නේ, "විශ්වාසය යළි ගොඩනැගීම, පරිර්වර්තනීය කළමනාකරණය සහ සියලු දෙනා වෙනුවෙන් ප්‍රතිඵල ලබාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක් " යන තේමාවෙන්.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට එක්වී ගෝලීය සාමය, ආරක්ෂාව, සංවර්ධනය, මානව හිමිකම් සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ අදහස් හා ප්‍රතිපත්ති ඉදිරිපත් කරන ප්‍රධානතම ජාත්‍යන්තර වේදිකාවක්.