2026-09-08 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...

2026-09-08 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...

by Staff Writer . 08-09-2026 | 4:17 PM

COLOMBO(News1st) - ජර්මානු ෆෙඩරල් ජනරජයේ Helmholtz-Zentrum für Umweltforschung GmbH‑UFZ ආයතනය සහ ශ්‍රී ලංකාවේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අතර ගිවිසුමකට එළඹීම


- පාරිසරික ආකෘතිකරණය (Ecological Modelling), ගණිතමය ප්‍රවේශයන් සහ විශාල පරිමාණයේ අවකාශීය දත්ත (Large‑scale Spatial Datasets) ඒකාබද්ධ කරමින් ජෛව විවිධත්වය, ශාක ප්‍රජාවන් සහ පරිසර පද්ධතිවල ගතිකත්වය පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා දෙන නව අවකාශීය පාරිසරික න්‍යායක් සංවර්ධනය කිරීමේ අරමුණින් ජර්මනියේ Helmholtz-Zentrum für Umweltforschung GmbH‑UFZ ආයතනය විසින් 'SpatioCoexistence-Towards a Spatial Coexistence Theroy for Species Rich Communities' නම් පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය එකී ව්‍යාපෘතියට අදාළව පාරිසරික දත්ත සමූහයන් ලබා දීම සඳහා සහ විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා විශේෂඥ උප කොන්ත්‍රාත්කරුවෙකු ලෙස තෝරා ගනු ලැබ තිබේ. එම කාර්යයට අදාළව දෙපාර්ශ්වය අතර ගිවිසුමක් අත්සන් තැබීමට යෝජිතව ඇති අතර එමඟින් දෙපාර්ශ්වය අතර එකඟ වූ පර්යේෂණ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා වසර 05ක කාලසීමාවක් වෙනුවෙන් යුරෝ 50,000ක් දක්වා අරමුදල් ලබා ගැනීමට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට අවස්ථාව සැලසෙනු ඇත. එකී ගිවිසුම මඟින් දැනුම හුවමාරු කර ගැනීම, නවීන විද්‍යාත්මක ක්‍රමවේදයන් වෙත ප්‍රවේශය ලබා ගැනීම, ශ්‍රී ලාංකීය පර්යේෂකයින්ගේ ධාරිතාව සංවර්ධනය කිරීම සහ ඒකාබද්ධ විද්‍යාත්මක ප්‍රකාශන බිහි කිරීම යන කාර්යයන් සිදු කිරීමටත්, එක් එක් පාර්ශ්වය සතුව දැනට පවතින දැනුම හා තොරතුරු සඳහා වන හිමිකාරිත්වය ආරක්ෂා කරමින් එකී සහයෝගිතාව යටතේ බිහි වන නව පර්යේෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ හිමිකාරිත්වය තහවුරු කිරීමටත් අපේක්ෂා කෙරේ. ඒ අනුව, ජර්මානු ෆෙඩරල් ජනරජයේ Helmholtz-Zentrum für Umweltforschung GmbH‑UFZ ආයතනය සහ ශ්‍රී ලංකාවේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අතර එකී ගිවිසුම අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුම‌ට අත්සන් තැබීම


- ශ්‍රම සංක්‍රමණ පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවත්වනු ලැබ ඇති සාකච්ඡාවලදී ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සහ ඊට පරිපූරක ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුමක් දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස එකඟතාවකට එළඹ ඇත. යෝජිත ගිවිසුම්වලට අත්සන් තැබීම මඟින් ශ්‍රම ක්ෂේත්‍රය තුළ දෙරටේ නිසි බලධාරින් අතර නිල සහයෝගිතාව ස්ථාපිත කිරීම, මෙරට ශ්‍රමිකයින් තායිලන්තයට යැවීම සහ ගෙන්වා ගැනීම විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ව්‍යුහගත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, තායිලන්තයේ රැකියාවල නියුක්ත මෙරට ශ්‍රමිකයින්ගේ නීතිමය අයිතිවාසිකම්, සුබසාධනය හා ආරක්ෂාව තහවුරු කිරීම සහ මිනිස් ජාවාරම් වැළැක්වීම යන කාර්යයන් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, වසර 05ක කාලසීමාවක් සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව සහ වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශන කමිටුව ස්ථාපිත කිරීම


- ශ්‍රී ලංකාවේ වත්මන් නිදහස් වෙළෙඳ ගිවිසුම් හා නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ඉදිරි ගමන් මග පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීම පිණිස පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2026-08-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම නිර්දේශ සැලකිල්ලට ගෙන, අනාගත නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් වඩාත් ඉලක්කගත, අනුක්‍රමික සහ සාක්ෂිපාදක ප්‍රවේශයක් අනුගමනය කිරීමටත්, ඒ සඳහා තිරසර සහ අර්ථවත් පාර්ශ්වකරුවන්ගේ උපදේශන ක්‍රියාවලියක් සහතික කිරීමටත් හැකි වන පරිදි ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවක් සහ වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශන කමිටුවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, පහත පරිදි ක්‍රියා කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

විභව ද්විපාර්ශ්වික හෝ කලාපීය වෙළෙඳ හවුල්කරුවන් සමඟ කෙරෙන වෙළෙඳ සාකච්ඡා මෙහෙයවීම සඳහා ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව ස්ථාපිත කිරීම.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවේ සභාපති සහ ප්‍රධාන ජාතික වෙළෙඳ සාකච්ඡාකරු ලෙස පත් කිරීම.

ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව යටතේ අවශ්‍ය කරනු ලබන තාක්ෂණික ක්‍රියාකාරී කණ්ඩායම් සමඟින් විෂය නිශ්චිත අනුකමිටු 12ක් ස්ථාපිත කිරීම.

ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව වෙත එහි ක්‍රියාකාරී සහ තාක්ෂණික අංශ පිළිබඳව උපදෙස් දීමටත්, වෙළෙඳ ගිවිසුම්වලට අදාළ කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කිරීමටත්, නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් තිරසර අදහස් විමසීම් සහ සන්නිවේදන යාන්ත්‍රණ සහතික කිරීමටත් වෙළෙඳ විශේෂඥයින්, වෙළෙඳ ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණයන්හි නිරත වන පර්යේෂකයින්, ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තීය සංගම්, සිවිල් සමාජය සහ අදාළ රාජ්‍ය නිලධාරින්ගෙන් සමන්විත වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශක කමිටුවක් පත් කිරීම.
ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ විෂය පථය පැවරී ඇති අමාත්‍යවරයා සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ විෂය පථය පැවරී ඇති අමාත්‍යවරයා වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ සම සභාපතිවරුන් වශයෙන් කටයුතු කිරීම.


ඔරොත්තු දීම හා සියලුදෙනා ඇතුළත් ආර්ථික අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීමේ සාර්ව ප්‍රතිසාධන ආංශික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම


- මෙරට ජනගහනයෙන් 56%ක් පමණ බහු අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන අතර, එම තත්ත්වය විශේෂයෙන් කාන්තාවන්, තරුණයන්, වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රජාවට දැඩි ලෙස බලපානු ලබයි. දේශගුණික විපර්යාස හේතුවෙන් එකී තත්ත්වය තවදුරටත් උග්‍ර කරනු ලබන බැවින්, සමාජ ආරක්ෂණ, රැකියා හා ජීවනෝපාය අවස්ථා සහ වැඩිහිටි සත්කාරක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක සහන ණය මුදලක් යටතේ ඔරොත්තු දීම හා සියලු දෙනා ඇතුළත් ආර්ථික අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීමේ සාර්ව ප්‍රතිසාධන ආංශික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම වැඩසටහන කෑගල්ල, මාතලේ, මුලතිව්, කිලිනොච්චි, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක 06 තුළ 2026 නොවැම්බර් මස සිට 2031 ඔක්තෝබර් මස දක්වා කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. එකී වැඩසටහන ප්‍රතිපත්ති සහ ආයෝජන යන සංරචක 02 යටතේ පහත සඳහන් පරිදි ක්ෂේත්‍ර 03ක් ආවරණය වන අයුරින් ක්‍රියාත්මක කිරීමට නියමිත වේ:

රැකියා සහ ජීවනෝපාය සේවාවල ආවරණය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම - වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත දිස්ත්‍රික්ක 06හි තෝරා ගනු ලබන අස්වැසුම ප්‍රතිලාභී පවුල් 30,000ක් සඳහා විධිමත් ජීවනෝපාය සංවර්ධන හා ව්‍යවසායකත්ව පුහුණුවකින් පසු ව්‍යවසායකත්ව සංවර්ධන සහාය, වෙළෙඳපොළ හා මූල්‍ය පහසුකම් සහ රුපියල් 200,000ක මූලික ප්‍රාග්ධන ප්‍රදානය වාරික 02කින් ලබා දීම.
සමාජ සත්කාර යටිතල පහසුකම්, සේවා සහ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම - වැඩිහිටියන් සඳහා ගුණාත්මක හා සාධාරණ සමාජ සත්කාර සේවා සැපයීම පිණිස නියාමන හා ආයතනික පරිසරය ශක්තිමත් කිරීම සඳහා නියාමන පද්ධති හා සේවා ප්‍රමිතීන් හඳුන්වා දීම, පුහුණු සත්කාරක ශ්‍රම බලකායක් ඇති කිරීම සහ තිරසර හා ගුණාත්මක දිගුකාලීන වැඩිහිටි සුරැකුම් සේවාවක් ඇති කිරීම පිණිස වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන 05ක් ස්ථාපනය කිරීම.
සියලුදෙනා ඇතුළත් කර ගත් සහ ප්‍රතිචාරාත්මක සමාජ ආරක්ෂණ පද්ධති ඇති කිරීම හා ආයතනික ධාරිතාව වර්ධනය කිරීම - සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තිමය හා ආයතනික පරිසරය ශක්තිමත් කිරීම සඳහා ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය (2023) හා උපායමාර්ග මත පදනම්ව සමාජ ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්මක් (2025) සහ සිද්ධි කළමනාකරණ රාමුවක් සකස් කිරීම, ඩිජිටල් හා දත්ත පද්ධති ස්ථාපිත කිරීම, සයිබර් ආරක්ෂාව සහ දත්ත ආරක්ෂණ ප්‍රමිතීන් හඳුන්වා දීම සහ ඒකාබද්ධ හා සම්බන්ධීකරණය කළ සේවා සැපයීම සඳහා ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීම මෙන්ම අධීක්ෂණ, ඇගයීම් හා ඉගෙනුම් පද්ධතියක් ස්ථාපිත කිරීම.
ඒ අනුව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව පරිදි ඉහත සඳහන් අයුරින් ඔරොත්තු දීම හා සියලුදෙනා ඇතුළත් ආර්ථික අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීමේ සාර්ව ප්‍රතිසාධන ආංශික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.


ආපදා සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය


- දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත සක්‍රිය කිරීම පිණිස ආපදා සහන (RE‑MSME ‑ Disaster Relief) ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත්, ආපදාවට පත් ව්‍යාපාරවලට මූල්‍ය සහය ලබා දීම පිණිස විස්තීරණ ආපදා සහන (EDR) ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එම ණය යෝජනා ක්‍රම 2025 සහ 2026 වර්ෂවල ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කරනු ලැබ තිබේ. ආපදාවෙන් පසු සියලු ව්‍යාපාර කඩිනමින් නැවත ආරම්භ කිරීමට ක්ෂණික මුල්‍ය සහන ලබා දීම සහ රටෙහි ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කර ගනිමින් 2026 වර්ෂයේ සිට එම ණය යෝජනා ක්‍රම 02 ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ඒ අනුව, එකී ණය යෝජනා ක්‍රමය යටතේ සහභාගිත්ව මූල්‍යායතන 15ක සහාය මත දිට්වා ආපදාවෙන් බලපෑමට ලක් වූ ව්‍යවසායයන් 3,968කට රුපියල් මිලියන 8,061.4ක ණය මුදලක් ලබා දීමට කටයුතු කරනු ලැබ තිබේ. එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ තොරතුරු මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, අමාත්‍ය මණ්ඩලය විසින් එම තොරතුරු සැලකිල්ලට ගන්නා ලදී.


තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහනේ සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම හා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පහසුකම් සැපයීම සඳහා වන උපදේශන සේවා ප්‍රසම්පාදනය


- ආසියානු සංවර්ධන බැංකුවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක ණය මුදලක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන යටතේ දඹුල්ල (සීගිරිය) සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම, තෝරා ගත් සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන ආශ්‍රිත යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම යන කාර්යයන් සිදු කිරීමට සැලසුම් කර ඇත. එම වැඩසටහනේ සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ පහසුකම් සැපයීම සඳහා උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවනු ලැබ තිබේ. ඒ සඳහා උපදේශන ආයතන 15ක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අභිලාෂ ප්‍රකාශ කිරීම් ඇගයීමෙන් අනතුරුව, ආයතන 06ක් වෙතින් යෝජනා කැඳවා ඇත. ඒ අනුව, යෝජනා 05ක් ඉදිරිපත් වී ඇති අතර, එකී යෝජනා ඇගයීමෙන් අනතුරුව M/s Resources Development Consultants (Pvt) Ltd (Sri Lanka), in association with M/s Novel Interdisciplinary Consulting Enterprise (Pvt) Ltd (Sri Lanka) වෙත එකී උපදේශන සේවා කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 173.86ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) පිරිනැමීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. එකී නිර්දේශය අනුව අදාළ උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


 


සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතේ පවතින මීටර 400, 200 සහ 80 කෘත්‍රිම ධාවන පථ නැවත ඇතිරීමේ ප්‍රසම්පාදනය


- සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතේ පවතින මීටර 400, 200 සහ 80 කෘත්‍රිම ධාවන පථ නැවත ඇතිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 1,062.543 ඇස්තමේන්තුගත පිරිවැයක් මත ක්‍රියාත්මක කිරීම පිණිස 2025-10-21 හා 2026-03-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ මඟින් අනුමැතිය ලබා දී තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක් ඉදිරිපත් කර ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව, සුදුසුකම් ලැබ ඇති එකම ලංසුකරු විසින් ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදලට වඩා 70%ක ඉහළ ලංසු අගයක් ඉදිරිපත් කර ඇති බව සැලකිල්ලට ගෙන, එම ප්‍රසම්පාදනය සඳහා නැවත ලංසු කැඳවීම පිණිස ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම නිර්දේශ මත පදනම්ව සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතේ පවතින මීටර 400, 200 සහ 80 කෘත්‍රිම ධාවන පථ නැවත ඇතිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම සඳහා නැවත ලංසු කැඳවීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


 

50 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව 'Colombo Marathon - 2026' තරගාවලිය පැවැත්වීම


- 50 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව ක්‍රීඩා සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන එක්ව එළඹෙන සැප්තැම්බර් මස 13 දින කොළඹ, ගාලුමුවදොර ක්‍රීඩා පිටියේදී 'Colombo Marathon - 2026' යන නමින් ජාත්‍යන්තර මැරතන් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇත. පූර්ණ මැරතන්, අර්ධ මැරතන්, කිලෝමීටර 10 දිවීම සහ කිලෝමීටර 5 Fun Run වශයෙන් තරග ඇතුළත් එම තරගාවලිය සඳහා ජාතික හා ජාත්‍යන්තර තරගකරුවන් රැසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා විසින් එම තරගාවලිය ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම, ජයග්‍රාහකයින් සඳහා ලබා දෙන ත්‍යාග මුදල් සහ තරගාවලිය පැවැත්වෙන මාර්ග සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.


 


ජාතික ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතන තුළ ඩිජිටල් සංවර්තන ඒකක පිහිටුවීම


- ජාතික ඩිජිටල් ආර්ථික සැලැස්ම 2025‑2030 සඳහා 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ආංශික ඩිජිටල් සංවර්තනය පාලනය කිරීමට සහ ජාතික ඩිජිටල් පොදු පහසුකම් මුලපිරීම සමඟ අනුකූල වීම සහතික කිරීමට හැකිවනු පිණිස රාජ්‍ය ආයතන තුළ ශක්තිමත් සහ ප්‍රමිතිගත ආයතනික යාන්ත්‍රණයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, ඩිජිටල් සංවර්තනය නිසි අයුරින් මෙහෙයවීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහාම වෙන් වූ ඒකකයක් ලෙස සියලුම රජයේ ආයතනයන් තුළ 'ඩිජිටල් සංවර්තන ඒකකය' නමින් ඒකකයක් පිහිටුවීමට යෝජනා කරනු ලැබ ඇත. එම ඒකක පිහිටුවීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහය ඇතුළත් ඩිජිටල් සංවර්තන ඒකක යොමු රාමුවක් (Reference Framework) GovTech ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම විසින් සකස් කරනු ලැබ තිබේ. එකී රාමුවට අනුව ආයතන ප්‍රධානියාට ඍජුවම වාර්තා කරන ප්‍රධාන ඩිජිටල් නිලධාරියෙකු (Chief Digital Officer) ඩිජිටල් සංවර්තන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. එමෙන්ම, එම ඒකකය මඟින් ව්‍යවසාය නිර්මාණ ශිල්පය, දත්ත සහ කෘත්‍රිම බුද්ධි සහාය, සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ, අන්තර් ක්‍රියාකාරිත්ව සහාය සහ උපදේශන කාර්යයන් සඳහා විශේෂඥ දැනුම GovTech ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම වෙතින් රාජ්‍ය ආයතනවලට ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. ඒ අනුව, රාජ්‍ය ආයතන තුළ ඩිජිටල් සංවර්තන ඒකක පිහිටුවීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල - 2026


- මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම 2025-2026 යටතේ හඳුනා ගත් ව්‍යාපෘතියක් වන 'මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල ‑ 2026' ජාතික මට්ටමින් පැවැත්වීමට සැලසුම් කරනු ලැබ ඇත. එම ජනාධිපති සම්මාන උළෙල පැවැත්වීම මඟින් මාර්ග ආරක්ෂාව වෙනුවෙන් පුද්ගලයන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, සංවිධාන සහ අනෙකුත් පාර්ශ්ව දක්වන සුවිශේෂී දායකත්වයන් ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීමට මෙන්ම මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජයේ අවධානය, වගකීම් සහගත හැසිරීම සහ මහජන සහභාගිත්වය තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. මෙම වසරේ පැවැත්වීමට නියමිත සමාරම්භක සම්මාන උළෙලෙහි අත්දැකීම් සහ ප්‍රතිඵල මත පදනම්ව නොවැම්බර් මස 03 වන ඉරිදාට යෙදෙන මාර්ග අනතුරු වින්දිතයන් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව එකී උළෙල ඉදිරියේදී සෑම වර්ෂයකම පැවැත්වීමට කටයුතු කරනු ඇත. ඒ අනුව, 'මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල ‑ 2026' ජාතික මට්ටමින් පැවැත්වීමටත්, එහිදී තෝරා ගනු ලබන සම්මානලාභීන් වෙත කුසලතා සම්මාන සහ ජනාධිපති සම්මාන පිරිනැමීමටත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත


- ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ජාතික සීමා ඉක්මවූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද, ඵලදායී ජාතික සහ අන්තර්ජාතික සහයෝගිතාව මඟින් බරපතල අපරාධ වැළැක්වීම සහ බරපතල අපරාධවලට විරුද්ධව කටයුතු කිරීම සඳහා ද, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් ඉදිරිපත් වන තර්ජනවලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා ද නෛතික විධිවිධාන සලසනු පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇත. එකී පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා; සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.