ප්‍රේමලාල් ජයසේකර විදෙස්ගතවී ඇතැයි අනාවරණයක්..

ශ්‍රේෂ්ඨාධිකරණය විදෙස් ගමන් තහනමක් පැනවීමට පෙර ප්‍රේමලාල් ජයසේකර විදෙස්ගතවී ඇතැයි අනාවරණයක්..

by Staff writer 06-09-2026 | 3:57 PM

COLOMBO (News 1st) -

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා නිදහස් කෙරුණු හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර විදෙස් ගතවී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ විදෙස් ගමන් තහනම පැනවීමට පෙරයි.

තායිලන්තයට ගොස් ඇතැයි පැවසෙන හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, හෙට යළි මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා නිදහස් කෙරුණු හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය, පසුගිය 4 වැනිදා තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ඒ , අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ය.

ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන්ට ඔක්තෝම්බර් 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එහිදී නොතීසි නිකුත් කෙරිණ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන්, පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට රත්නපුර මහාධිකරණය, මරණීය දණ්ඩනය නියම කළේ ය.

එම මරණීය දණ්ඩනයට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර ඇතුලු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය, ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවේ ය.

අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත්, එය බල රහිත කර දඬුවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිද්ධියෙන් අගතියට පත්වූවන් අදාළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.