Port City ඝාතනයට තවත් චීන ජාතිකයෙකු අත්අඩංගුවට

කොළඹ වරාය නගරයේ චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිම සම්බන්ධයෙන් තවත් චීන ජාතිකයෙකු අත්අඩංගුවට

by Staff writer 05-09-2026 | 11:43 AM

COLOMBO(News1st) - කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාල අවශ්‍ය කර සිටි තවත් චීන ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ වරාය නගරයේ සැඟව සිටියදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් ඔවුන් හඳුනාගෙන තිබේ.

පසුගිය ජුලි 22 වැනිදා රාත්‍රියේ කොළඹ වරාය නගරයේ පාලමක් මත චීන ජාතිකයින් තුන්දෙනෙකු මසුන් අල්ලමින් සිටියදී, වෑන් රථයකින් පැමිණි තවත් චීන ජාතිකයින් පිරිසක් ඔවුන්ට පහරදී, අත්පා ගැට ගසා, එක් අයෙකු පැහැරගෙන ගොස් තිබුණා.

පැහැරගෙන ගිය චීන ජාතිකයාගේ මළ සිරුර පසුව සොයා ගැනුණේ ඇහැළියගොඩ කරදන ප්‍රදේශයේ දමා ගොස් තිබියදීය.

පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත්තේ, පිහි ඇනුම් හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවු හානි හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

ඝාතනයට ලක් වූ හාඕ සොන්ග් නමැති අදාළ චීන ජාතිකයා පරිගණක අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලිසිය අනාවරණය කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින චීන ජාතිකයින් ගණන 6කි.