ඇමරිකාවෙන් ඉරානයට යළි ප්‍රහාර...

ඉරානයේ ලරාක් දූපත් ඉලක්ක කරගනිමින් ඇමරිකාවෙන් ප්‍රහාර මාලාවක්....

by Staff writer 31-08-2026 | 8:41 AM

COLOMBO (News1st) -  ඉරානයේ ලරාක් දූපත් ඉලක්ක කරගනිමින් අද (30) අලුයම ඇමරිකාව නව ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

ජූලි මාසයේ අවසන් සතියෙන් පසු ඇමරිකාව ඉරානය ඉලක්ක කරගනිමින් ප්‍රහාර දියත් කළ පළමු අවස්ථාව මෙයයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ පිහිටා ඇති ලාරාක් දූපත මීට පෙරද අවස්ථා ගණනාවකදී ඇමරිකාවේ ඉලක්කයක් බවට පත්විය.

ඉරාන හමුදා හෝමූස් සමුද්‍ර සන්ධියට රොකට් ප්‍රහාර දියත් කිරීමට සූදානම් වන ආකාරය නිරීක්ෂණය වූ බැවින් අදාළ දියත් කිරීමේ උපකරණ විනාශ කර දැමීමට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු මධ්‍යම විධානය පවසයි.

ඇමරිකාවේ නව ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රකාශක සාර්දාර් මොහෙබි සඳහන් කළේ, ඇමරිකාව මාරාන්තික වැරද්දක් සිදුකරගෙන ඇති බවයි.

ආර්ථික හා මිලිටරි යන දෙඅංශයෙන්ම ඇමරිකාවට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවටත්, ඔහු අනතුරු ඇඟවිය.

ඉන් පැය කිහිපයකට පසු ඉරානය ජෝර්දානයේ ඇමරිකානු ඉලක්ක වෙත පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායද නිවේදනය කළේ, ජෝර්දානයේ පිහිටි "කින්ග් හුසේන් සහ අල් අස්රාක්" කඳවුරුවලට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි.

සිය ගුවන් කලාපයට ඇතුළු වූ මිසයිල ප්‍රහාර 8ක් ව්‍යර්ථ කළ බව ජෝර්දාන හමුදාවද නිවේදනය කළේ ය.