මඩකලපුව, මොණරාගල පානීය ජල ගැටළුවට විසඳුමක්

මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල පානීය ජල ගැටළුවට විසඳුමක්

by Staff writer 29-08-2026 | 7:11 AM

COLOMBO(News1st) - මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල පානීය ජල ගැටළුවට විසඳුම් ලෙස භූගත ජලය ලබාගැනීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

එහි සභාපති චන්දන බණ්ඩාර පැවසුවේ, ඒ යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ නල ලිං 60ක් පමණ ඉදිකරමින් පවතින බවයි.

එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේද නල ලිං ඉදි කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.

දිස්ත්‍රික්ක 7ක පීඩාවට පත් හැත්තෑ  පන්දහසකට අධික පිරිසකට පානීය ජලය ලබා දෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද සඳහන් කළේය.

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක ජනතාවටට බලපෑම් එල්ල වී තිබෙනවා.

බදුල්ල, පොළොන්නරුව, හම්බන්තොට හා රත්නපුර, මඩලකපුව හා අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත්.

එම දිස්ත්‍රික්කවල පීඩාවට පත් සංඛ්‍යාව 84,545කට අධිකයි.

වියළි කාලගුණයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ්‍රවල ධාරිතාව 34.7% දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ.

වාර්මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දැඩි ලෙස පහළ ගොස් ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශවල ධාරිතාව බවයි.

එම දිස්ත්‍රික්කයේ ජලාශවල ධාරිතාව 21.7%ක් .

මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශවල ධාරිතාව 25.6% දක්වාත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජලාශවල ධාරිතාව 26.8% දක්වාත් පහළ ගොස් තිබේ.

මුරුතවෙල, මොරවැව, කවුඩුල්ල, ඇතිමලේ, වීරවිල, වෙහෙරගල, උන්නච්චි, මොරාන, නාගදීප හා රොට්ටිකුලම ජලාශවල ධාරිතාව මේ වනවිට පවතින්නේ 20%ටත් වඩා අඩු අගයකයි.

පවතින තත්ත්වය යටතේ පානීය ජල සැපයුම සඳහා උපරිම කළමණාකරණයකින් ජලය නිකුත් කිරිමට පියවර ගනිමින් සිටින බව  වාර්මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.