.webp)

විවිධ රාජ්‍ය ආයතන පුරා විසිරී ඇති අනුමැති ක්‍රියාවලියක් පැවතීම, ආයතන අවම අභ්‍යන්තර සන්නිවේදනයක් සහිතව හුදකලාව ක්‍රියාත්මක වීම, ඒවායේ අතිපිහිත (overlapped) ආයතනික බලතල පිළිබඳ ගැටලු සහ පරිපාලනමය අකාර්යක්ෂමතාවන් ආදී තත්ත්වයන් හේතුවෙන් මෙරට දේශීය ආයෝජන අභියෝග රැසකට මුහුණ දී සිටී. ඒ අතරින්, එක් ආයෝජන කාර්යයකට අදාළව අනුමත කිරීමේ ක්‍රියාවලීන් තනි තනි රජයේ ආයතන අතර බෙදී පැවතීම දේශීය ආයෝජන ආරම්භ කිරීමේ දී ප්‍රධානතම අභියෝගයකි. ඒ හේතුවෙන්, ව්‍යාපෘති සංවර්ධනය සඳහා ඉඩම් වෙන් කරවා ගැනීම, පාරිසරික අනුමැතින් හා නියාමන බලපත්‍ර ලබා ගැනීම, විදුලි සම්බන්ධතා ලබා ගැනීම, ජල සම්පාදනය සහ බැංකු හා මූල්‍යකරණ පහසුකම් ලබා ගැනීම වැනි කාර්යයන්වලදී නිරන්තර ප්‍රමාදයන් සිදු වන බව හා ආයෝජකයින් අපහසුතාවට පත් වීම මෙන්ම අධෛර්යයට පත් වීම සිදු වන බව හඳුනා ගනු ලැබ ඇත. එබැවින්, ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම පිණිස මෙරට ව්‍යවසායකයින්හට මග පෙන්වීම සඳහා වන තනි සම්බන්ධීකරණ ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ආයෝජකයින්ට පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, ආයෝජන සඳහා පවතින පරිපාලන බාධක ඉවත් කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති ප්‍රශස්තකරණය පිණිස ඉහළ අධිකාරිත්වයක් සහිතව එකී මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමටත් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශය සඳහා වන උපායමාර්ගික රාමුව 2026 2035 සහ නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන
ජාතික හා ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන නිපුණතාවයෙන් යුත් ශ්‍රම බලකායක් බිහි කිරීම සඳහා වූ කාර්මික සහ වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව, රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව යටතේ වන උපායමාර්ගික කුලුනක් ලෙස හඳුනා ගනු ලැබ තිබේ. වර්තමානයේ රජයේ කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ආයතන විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් පැවතිය ද, පුහුණු වැඩසටහන්වල අන්තර්ගතය සහ ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා අතර පවතින නොගැළපීම හේතුවෙන් එම ක්ෂේත්‍රය තුළ විවිධ අභියෝගකාරී තත්ත්වයන් මතු වී ඇත. එම අභියෝග ජය ගනිමින් කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිගුකාලීන සංවර්ධනයක් ඇති කිරීම පිණිස ප්‍රධාන මාර්ගෝපදේශයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය සහිතව 2026 2035 කාලසීමාව සඳහා කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශය වෙනුවෙන් වන උපායමාර්ගික රාමුව සකස් කරනු ලැබ තිබේ.
එමෙන්ම, එකී උපායමාර්ගික රාමුවට අනුකූලව 'නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහනක්' (Skills Development System Transformation Programme) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එකී වැඩසටහන මඟින් උසස් පෙළ වෘත්තීය අධ්‍යාපන විෂය ධාරාව ශක්තිමත් කිරීම, වෘත්තීය අධ්‍යාපන පාලන ව්‍යුහය විධිමත් කිරීම, කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන වැඩසටහන්වල ගුණාත්මකභාවය හා අදාළත්වය ඉහළ නැංවීම, සමානාත්මතාවයෙන් යුත් ප්‍රවේශය පුළුල් කිරීම, පුහුණු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, කර්මාන්ත ක්ෂේත්‍රයේ සහභාගිත්වය වැඩිදියුණු කිරීම, ඩිජිටල් පරිවර්තනය සිදු කිරීම සහ නිපුණතා සංවර්ධනය යන කාර්යයන් සඳහා තිරසර මූල්‍යකරණ යාන්ත්‍රණයන් හඳුන්වා දීමට සැලසුම් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෝගය ලබා ගැනීමට ද අපේක්ෂා කෙරේ. ඒ අනුව, කාර්මික සහ වෘත්තීය අධ්‍යාපනය හා පුහුණු අංශය සඳහා වූ උපායමාර්ගික රාමුව 2026 2035 කාලසීමාව සඳහා මෙරට කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශයේ ජාතික උපායමාර්ගික මාර්ගෝපදේශය ලෙස පිළිගැනීමටත්, එම උපායමාර්ගික රාමුව සඳහා වන 'නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන 2027 2031 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත විශ්ව සෞඛ්‍ය සහ පෙර සූදානම් සමාලෝචනය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම සංවිධානයේ සාමාජික රටවල සෞඛ්‍ය හදිසි අවස්ථා හඳුනා ගැනීම, වළක්වා ගැනීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා වන හැකියාව වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් සමාලෝචනයට ලක්වන රටේ මූලිකත්වයෙන් සහ අනෙකුත් රටවල සම සමාලෝචනයෙන් නව ස්වේච්ඡා ඇගයීම් ක්‍රමයක් පැවැත්වීම ආරම්භ කරනු ලැබ තිබේ. 'විශ්ව සෞඛ්‍ය සහ පෙර සූදානම් සමාලෝචනය' යන නමින් හඳුන්වනු ලබන එම ඇගයීම, 'මුළු රජයම' සහ 'මුළු සමාජයම' යන සංකල්පය අනුව ඉහළම මට්ටමේ රජයේ කැපවීම සහ දේශපාලන නායකත්වයේ සහාය මත සිදු කරනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම සමාලෝචනය පැවැත්වීම පිණිස ශ්‍රී ලංකාවට කරනු ලැබ ඇති ආරාධනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. එම සමාලෝචනය මඟින් මෙරටට අදාළව මීට පෙර සිදු කරනු ලැබ ඇති සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර තක්සේරු ක්‍රියාවලිවලින් ඔබ්බට ගොස් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අන්තර්-අංශීය සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම, ප්‍රශස්ත පාලන ව්‍යුහයන් ගොඩනැගීම සහ මූල්‍ය කැපවීම තහවුරු කිරීමට හැකි වනු ඇත. ඒ අනුව, සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම තවදුරටත් තහවුරු කරමින් 'විශ්ව සෞඛ්‍ය සහ පෙර සූදානම් සමාලෝචනය' ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ප්‍රාදේශීය පරිපාලනය තුළින් පුරවැසි කේන්ද්‍රීය පාලනය සහ ඉදිරිපෙළ රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සඳහා 'ජනරිද්ම' (SL PULSE) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය පරිපාලන ව්‍යුහය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25කින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341කින් සමන්විත වේ. එම ආයතනික පද්ධතිය මඟින් ප්‍රජා සංවර්ධනය, සමාජ ආරක්ෂණය, රජයේ ඉඩම් පරිපාලනය, ආපදා කළමනාකරණය, සිවිල් ලියාපදිංචිය, විශ්‍රාම වැටුප් සම්බන්ධ සේවා සහ වෙනත් පුරවැසි කේන්ද්‍රීය පරිපාලන කාර්යයන් ඇතුළු අත්‍යවශ්‍ය මහජන සේවාවන් රාශියක් සපයනු ලබයි. එම සේවාවන් සඳහා ප්‍රවේශය, සේවාවන්හි ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ පුරවැසි ප්‍රතිචාර සහ අත්දැකීම් ක්‍රමානුකූලව ලබා ගැනීමට සහ ඇගයීමට ලක් කිරීමට ජාතික යාන්ත්‍රණයක් වර්තමානයේ ස්ථාපිතව නොමැත. එබැවින්, ඒ සඳහා වන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය සේවා පුරවැසි ප්‍රතිචාර සමීක්ෂණය පැවැත්වීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ලබා දෙන මුල්‍ය හා තාක්ෂණික සහාය යටතේ 'ජනරිද්ම' (SL PULSE) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. විවෘත මහජන සහභාගිත්වය, ප්‍රජා මූලික සමීක්ෂණය සහ අහඹු සමීක්ෂණය යන මට්ටම් යටතේ පුරවැසි සහභාගිත්වය, පුරවැසියන්ට වගවීම, දූෂණ අවම කිරීම, රාජ්‍ය පරිපාලන කාර්ය පටිපාටි, රාජ්‍ය සේවා, පරිසරය සහ ඩිජිටල්කරණය යන ප්‍රධාන ක්ෂේත්‍ර හත (07) ආවරණය වන පරිදි පුරවැසියන් 13,000 15,000 අතර සංඛ්‍යාවක් සහභාගි කරවාගනිමින් අදාළ සමීක්ෂණය දිවයින පුරා සිදු කිරීමට නියමිතය. ඒ අනුව, ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කර අදාළ මහජන සේවා සැපයීමේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හැකිවන අයුරින් 'ජනරිද්ම' (SL PULSE) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව සඳහා ආරක්ෂක සේවා ප්‍රසම්පාදනය
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලය සහ දීපව්‍යාප්ත ශාඛා ජාලය සඳහා ආරක්ෂක සේවාවන් බාහිර සේවා සපයනු ලබන ආයතනවලින් සපයා ගනු ලබන අතර, එම සේවා ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 14ක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, 2026 10 01 දින සිට වසර 02ක කාලසීමාවක් සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආරක්ෂක සේවා සපයා ගැනීමේ කොන්ත්‍රාත්තු පහත පරිදි ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
මධ්‍යම අධිවේගී මාර්ගයේ I, III සහ IV කොටස් සඳහා සම්බන්ධක මාර්ග සංවර්ධනය කිරීම
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කොටස් හතරකින් නිම කිරීමට නියමිත අතර, එම මාර්ගය බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පවතින මාර්ග ජාලය සමඟ සම්බන්ධ කිරීම සඳහා සම්බන්ධක මාර්ග සංවර්ධනය කිරීමට යෝජනා කරනු ලැබ තිබේ. එමඟින්, මාර්ග ජාල අතර කාර්යක්ෂම සම්බන්ධතාව, ප්‍රවේශ්‍යතාව සහ රථවාහන ප්‍රවාහය වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය. ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ගයේ I කොටස සඳහා කිලෝමීටර 117.68ක දිගකින් යුත් සම්බන්ධක මාර්ග 12ක්, මධ්‍යම අධිවේගී මාර්ගයේ III කොටස සඳහා කිලෝමීටර 83.98ක දිගකින් යුත් සම්බන්ධක මාර්ග 14ක්, මධ්‍යම අධිවේගී මාර්ගයේ IV කොටස සඳහා කිලෝමීටර 81.36ක දිගකින් යුත් සම්බන්ධක මාර්ග 09ක් සංවර්ධනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ සඳහා වන තාවකාලික මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් බිලියන 104.9ක් වේ. ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ගයේ I, III සහ IV කොටස් සඳහා සම්බන්ධක මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය 2026-2030 කාලසීමාව තුළදී ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල පිහිටි පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. එම ව්‍යාපෘතිය අදියර 02ක් යටතේ ක්‍රියාත්මක කිරීමටත්, මාස 18ක කාලසීමාවක් තුළ පළමු අදියර යටතේ පාලම් 09ක් ප්‍රතිසංස්කරණය කිරීමටත් සැලසුම් කර තිබේ. අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් රෙන්මින්බි මිලියන 79ක ප්‍රදානයක් ලබා දීමට නියමිතව ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර අත්සන් තැබීමටත්, ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයේ නිශ්චිත ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පැමිණීමේ ලොබියේ සංචාර සේවා කවුන්ටර ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රසම්පාදනයන් ප්‍රදානය කිරීම
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පැමිණීමේ ලොබියේ සංචාර සේවා කවුන්ටර 06ක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ආයතන තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 10ක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, වසර 03ක කාලසීමාවක් සඳහා පහත සඳහන් පරිදි එකී ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ල ඉදි කිරීම සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව හෘද රෝග හා හෘද උරස් ශල්‍ය සංකීර්ණ ගොඩනැගිල්ල ඉදි කිරීම
හෘදවාහිනී රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීමේ සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍ය පහසුකම් යටතේ 2018 වසරේදී ආරම්භ කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය යටතේ මහනුවර ජාතික රෝහල, අනුරාධපුර, කුරුණෑගල හා බදුල්ල යන ශික්ෂණ රෝහල් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ හෘද රෝග ප්‍රතිකාර පහසුකම් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ. එම ව්‍යාපෘතියේ පැකේජ 01 යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා සහ පැකේජ 03 යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව හෘද රෝග හා හෘද උරස් ශල්‍ය සංකීර්ණ ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම පිණිස ණය ගිවිසුමේ විධිවිධාන සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව ලංසු කැඳවා ඇත. පැකේජ 01 සඳහා ලංසු 05ක් සහ පැකේජ 03 සඳහා ලංසු 06ක් ලැබී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව, M/s Maga Engineering (Pvt) Ltd වෙත පහත පරිදි එකී කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
භාවිත කෙරෙන කාලය පාදක (Time of Use) බිල්පත් ක්‍රමයක් සහිත සුහුරු මනු පද්ධති (Smart Meters) ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
රට තුළ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ ප්‍රයත්නයන් සවිබල ගැන්වීම සඳහා වන අනුපූරක ව්‍යාපෘතිවලට ආසියානු සංවර්ධන බැංකුවේ සුළු වියදම් මූල්‍යනය පහසුකම හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක ණය මුදලක් ලබා ගැනීම පිණිස 2024 10 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම ණය මුදලින් මහඔය පොම්ප කළ ජල ගබඩා විදුලි බලාගාරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ සවිස්තරාත්මක සැලසුම සහ ප්‍රසම්පාදන ලේඛන සකස් කිරීම පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් භාවිත කිරීම පිණිස 2025 09 03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 12.5ක ප්‍රතිපාදන උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාවේ සුහුරු ජාල නවීකරණය කිරීමේ මූලික ක්‍රියාමාර්ගයෙහි අංගයක් ලෙස, භාවිත කෙරෙන කාලය පාදක (Time of Use) බිල්පත් ක්‍රමයක් සහිත යෝජිත සුහුරු මනු පද්ධති (Smart Meters) 300,000ක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනු ලැබ ඇත. ඒ අනුව, වසර 02ක කාලසීමාවක් තුළ එකී ව්‍යාපෘතිය ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ලෝක බැංකු මුල්‍ය සහාය සඳහා 'Tourism for Heritage, Resilience, Inclusion and Value-driven Employment (THRIVE) – Nature ' ව්‍යාපෘතිය සකස් කිරීම
ස්වභාව ධර්මය පදනම් කර ගත් සංචාරක ව්‍යාපාරය සඳහා මෙරට ඉහළ විභවතාවක් පවතින නමුත්, වර්තමානයේ සංචාරකයන්ගේ පැමිණීමේ ක්‍රමික වර්ධනයට සාපේක්ෂව ආදායම වර්ධන වේගය අඩු අගයක් ගන්නා බව හඳුනා ගනු ලැබ ඇත. ස්වභාව ධර්මය මත පදනම් වූ සංචාරක ගමනාන්තවල වාසස්ථාන වැඩිදියුණු කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා Tourism for Heritage Resilience Inclusion and Value-driven Employment (THRIVE) Nature නමින් ව්‍යාපෘතියක් සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කිරීම වෙනුවෙන් ව්‍යාපෘති සූදානම් කිරීමේ ප්‍රදාන පහසුකම (Grant Facility for Project Preparation - GFPP) යටතේ මාස 18ක කාලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක ප්‍රදානයක් ලබා දීමට ලෝක බැංකුව විසින් කැමැත්ත පළ කරනු ලැබ ඇත. ලෝක බැංකු මූල්‍ය සහාය යටතේ ක්‍රියාත්මක වූ පරිසර පද්ධති සංරක්ෂණය හා කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරනු ලැබූ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමට ද යෝජිත ව්‍යාපෘතිය මඟින් සහාය ලබා දෙනු ඇත. ඒ අනුව, එකී ප්‍රදානය භාරගැනීමටත්, එම අරමුදල් භාවිත කරමින් යෝජිත ව්‍යාපෘතිය සකස් කිරීමටත් පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 අංක 7 දරන සමාගම් පනත යටතේ අර්ථලාභී අයිතිය සම්බන්ධ රෙගුලාසි ඉදිරිපත් කිරීම
සමාගම්වල අර්ථලාභී අයිතිය ලියාපදිංචි කිරීම සම්බන්ධ නෛතික අවශ්‍යතා ඇතුළත් කරමින් 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා 2025 07 21 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, 2025 අංක 12 දරන සමාගම් (සංශෝධිත) පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කරනු ලැබ ඇත. එකී පනතේ විධිවිධාන අනුව සාදන ලද 2026 අංක 01 දරන සමාගම් (අර්ථලාභී අයිතිය) නියෝග, අංක 2480/48 සහ 2026 03 21 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
සාක්ෂිය ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධතාව මඟින් පාර්ශ්වයන්ගේ එකඟතාව මත, අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් පාර්ශ්වයක් හෝ පාර්ශ්වයන් විසින් සිදු කරනු ලබන ඉල්ලීමක් මත හෝ තමන්ගේම මෝසමක් මඟින් සිදු කරනු ලබන ඉල්ලීමක් මත, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත ඕනෑම ස්ථානයක සිට සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධක හරහා සාක්ෂි ලබා දීම සඳහා තැනැත්තන් යොමු කිරීම පිණිස අධිකරණයට බලය ලබා දෙමින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ අදාළ විධිවිධාන සංශෝධන කිරීම සඳහා 2025 01 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම
මේ වන විට පුරප්පාඩුව පවතින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත් පදනම මත පත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය තුළ 'විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව' නමින් සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අදාළව සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම
වෛද්‍ය සහ දන්ත වෛද්‍ය විශේෂඥයින් සඳහා සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීම සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමට නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස 2026 01 12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කර එම නිලධාරි කමිටුව විසින් සිය වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ. එකී වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන, විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව නමින් සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමටත්, එම සේවා කාණ්ඩයට අදාළ වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
