පැය 24ක් තුළ බස් රථවල ගැටී පදිකයින් 03 දෙනෙකු මරුට

පැය 24ක් තුළ බස් රථවල ගැටී පදිකයින් 03 දෙනෙකු මරුට.

by Staff writer 25-08-2026 | 11:04 AM

COLOMBO(News1st) - බස් රථවල ගැටීමෙන් පසුගිය පැය විසිහතර තුළ පදිකයින් තුන් දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, පේරාදෙණිය , හබරණ සහ මුල්ලේරියාව ප්‍රදේශවලදී එම අනතුරු සිදුව ඇති බවයි.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ගැටබේ ප්‍රදේශයේදී නාවලපිටිය දෙසට ගමන් කළ බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ  පුද්ගලයෙකුගේ ගැටීමෙන් ඔහු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 75ක වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හබරණ - අනුරාධපුර මාර්ගේ ගලපිටගල ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ බස් රථයක් ගැටී 31 හැවිරිදි පලුගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගිය බව සඳහන් වේ.

කොළඹ -අවිසාවේල්ල මාර්ගයේ අඹතලේ ප්‍රදේශයේ කොළඹ දෙස සිට අඩුවෙල දෙසට ධාවනය කළ පුද්ගලික බස් රථයක් ඉන්ධන හලක් වෙත හැරවීමේදී කාන්තාවකගේ ගැටීමෙන් ඇය මියගොස් තිබේ.

එලෙස මියගියේ වයස අවුරුදු 74ක් වූ මුල්ලෙරියාවේ පදිංචිකාරිනියකි.

සියලු බස් රථ රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.