නව ඇමරිකානු තනාපති එරික් මේයර් දිවයිනට

නව ඇමරිකානු තනාපති එරික් මේයර් දිවයිනට

by Staff writer 24-08-2026 | 6:31 PM

COLOMBO(News1st) - ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තනාපතිවරයා ලෙස පත් වූ එරික් මේයර් (Eric Meyer) මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම සඳහා අගෝස්තු 22 වැනිදා පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.

කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ 29 වන ඇමරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඒ මහතා සිය සතුට පළ කළ බවයි.

තම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් නව තානාපති එරික් මේයර් මහතා ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර පවතින ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් වෙළඳ, ආරක්ෂක සහ ආර්ථික ක්ෂේත්‍රවල නව අවස්ථා උදාකර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මෙම තනතුරට පත්වීමට පෙර එරික් මේයර් මහතා නෝර්වේ හි ඇමරිකානු තානාපති කාර්යාලයේ වැඩබලන තානාපතිවරයා (Chargé d'Affaires) ලෙසත්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙසත් කටයුතු කර ඇත.