උතුරු, නැගෙනහිර ඉඩම් ගැන ජනපති කියූ දේ...

යුද සමයේ පවරාගත්, නිදහස් කළ හැකි උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට ලබා දෙන්න, ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්.

by Staff writer 21-08-2026 | 10:32 AM

COLOMBO (News 1st) -

පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත්, මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්වයන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊයේ(20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පැවති සාකච්ඡාවකදීයී.

එම සාකච්ඡාවේදි ජාතික ආරක්ෂාව සහ එහි වැදගත්කම පෙන්වාදෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ජාතික ආරක්ෂාව සඳහා හමුදා කඳවුරු ස්ථාපනය කළ යුත්තේ කුමන ස්ථානවලද යන්න තීරණය කිරීම ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන පිරිසගේ කාර්යභාරය බවයි.

එහිදි ආරක්ෂාව මත පදනම්ව නිදහස් කළ හැකි ඉඩම් මොනවා ද යන්නත්, නිදහස් කළ නොහැකි ඉඩම් මොනවාද යන්නත් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීම සම්බන්ධයෙන්ද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම අත්‍යවශ්‍ය ඉඩම් ප්‍රමාණය තීරණය කිරීමේදී හැකිතාක් ජනතාවගේ පැත්තෙන් සිතා බැහැර කළ හැකි උපරිම ඉඩම් ප්‍රමාණය බැහැර කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම එලෙස ලබා දෙන ඉඩම් කොටස්වලට අමතරව එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග සලසා දීමට කටයුතු කිරිමේ අවශ්‍යතාවයත් ඒ සඳහා ඉහළ ඵලදායීතාවක් ලබා ගත හැකි නවීන කෘෂි තාක්ෂණය සහිත ව්‍යාපෘති හඳුන්වා දීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලාබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.