අමාත්‍ය මණ්ඩල තීරණ - 2026.08.17

2026-08-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)

by Staff writer 18-08-2026 | 3:54 PM

COLOMBO(News1s1) - 2026-08-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ පිලිබඳ මාධ්‍ය ප්‍රකාශ පහත පරිදි වේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම

ගුරු, ගුරු උපදේශක, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ, අධ්‍යාපන පරිපාලන ආදී සාමාන්‍ය අධ්‍යාපනයේ සියලුම වෘත්තීය කාණ්ඩ ආවරණය වන පරිදි එම වෘත්තිකයන්ගේ ප්‍රමිතිකරණය, ලියාපදිංචිය/බලපත්‍රකරණය, තත්ත්ව සහතික කිරීම සහ ප්‍රතීතනය යන කාර්යයන් සඳහා ආයතනික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. ඒ පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී.දයාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරනු ලැබ තිබේ. එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති 2025-10-03 දිනැති වාර්තාව පාර්ලිමේන්තුවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවන ලද අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. එහිදී ලද අනුමැතිය මත එකී වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමෙන් පසු සකස් කරනු ලැබ ඇති සමාලෝචන වාර්තාව ද එම අනු කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, යෝජිත අධ්‍යාපන සභාවේ විෂය පථය යටතට ගැනෙන කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වෙනත් නෛතික විධිවිධාන යටතේ දැනටමත් බලය පැවරී ඇති ආයතන සමඟ නිසි සම්බන්ධීකරණයකින් යුතුව අධ්‍යාපන සභාව පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීම

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස මූලික මානව හිමිකම් ගිවිසුම් 09ක සහ විකල්ප ප්‍රොටොකෝල 05ක රාජ්‍ය පාර්ශ්වකරුවකු ලෙස ක්‍රියා කරනු ලබයි. එකී ජාත්‍යන්තර සම්මුතීන්ට අමතරව විශ්ව කාලාන්තර සමාලෝචනය සඳහා ද ශ්‍රී ලංකාව සහභාගි වන අතර, එමඟින් මානව හිමිකම් පිළිබඳ ප්‍රගතියක් ඇති කිරීම සඳහා ජාතික මට්ටමින් ගෙන ඇති පියවරයන් ස්වේච්ඡාවෙන් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසේ. 2023 වර්ෂයේදී එකී විශ්ව කාලාන්තර සමාලෝචනයේ 4 වන චක්‍රය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳව සිදු කරනු ලැබූ සමාලෝචනයේදී අනෙකුත් රාජ්‍යයන්ගෙන් ලැබුණු නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ලබා ඇති ප්‍රගතිය ගෙන හැර දක්වමින් ස්චේච්ඡා මධ්‍යකාලීන වාර්තාවක් මීළඟ සමාලෝචනයට පෙර ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසී ඇත. ඒ අනුව, එකී වාර්තාව සකස් කිරීමේ කාර්යය සඳහා රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන ඇතුළුව ඵලදායී බහු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත ජාතික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් පසු විපරම් කිරීමේ සහ වාර්තා කිරීමේ ඵලදායී දේශීය ක්‍රියාවලියක් සඳහා ස්ථාවර ජාතික රාමුවක් ලෙස ක්‍රියා කිරීම පිණිස මානව හිමිකම් පිළිබඳ අන්තර්අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා; සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


2026-2030 සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකාවේ සමස්ත මහජනතාව වෙත ආරක්ෂාකාරී, ඵලදායී, ගුණාත්මක සහ දැරිය හැකි මිලකට අත්‍යවශ්‍ය ඖෂධ ලබා දීම යන රජයේ ප්‍රමුඛ සෞඛ්‍ය ප්‍රතිපත්ති අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලැබ ඇත. 2005 වර්ෂයේදී සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම සඳහා 2020 සිට 2025 දක්වා යන කාලවකවානුව තුළ මූලික කටයුතු ආරම්භ කරනු ලැබ ඇති නමුත්, එම කාර්යය අවසන් වී නොමැත. මේ දක්වා පැවති ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ලද අත්දැකීම්, වර්තමාන සෞඛ්‍ය අවශ්‍යතා, ගෝලීය ඖෂධ වෙළඳපොළේ සිදු වී ඇති වෙනස්කම්, ඖෂධ සැපයුම් දාමයේ අභියෝග සහ දේශීය ඖෂධ නිෂ්පාදනය සම්බන්ධ නව අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, 2026-2030 කාලසීමාව සඳහා යාවත්කාලීන ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන අයුරින් සකස් කරනු ලැබ ඇති 2026-2030 ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රමුඛතා කාර්යයක් සේ සලකා කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතාවලට අදාළ වන ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල, ගුණාත්මක හා ආරක්ෂිත ඖෂධ තිරසර හා සාධාරණ ආකාරයකින් දැරිය හැකි මිලකට ලබා ගැනීම සහතික කිරීම.
සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සහ පාරිභෝගිකයින් විසින් විද්‍යාත්මකව නිවැරදි, පිරිවැයඵලදායී වෛද්‍ය නිෂ්පාදන භාවිතය තුළින් ප්‍රතිකාරවල ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම සහ නාස්තිය වැළැක්වීම.
සහතික කළ ප්‍රත්‍යක්ෂභාවය, ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සහිත අත්‍යවශ්‍ය වෛද්‍ය නිෂ්පාදන කාර්යක්ෂමව දේශීයව නිෂ්පාදනය කිරීම ප්‍රවර්ධනය කිරීම.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ පහසුකම් භාවිත කරමින් ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා පුළුල් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ශික්ෂණ රෝහල නවීන යටිතල පහසුකම්, දියුණු වෛද්‍ය උපකරණ සහ ප්‍රමාණවත් භෞතික ධාරිතාවකින් සමන්විත වන නමුත්, විශේෂඥ සායනික කාර්ය මණ්ඩලයේ සීමිත බව හේතුවෙන් එම සම්පත් වර්තමානයේදී උපරිම වශයෙන් උපයෝජනයට ලක් නොවන බව නිරීක්ෂණය කර තිබේ. ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය, ඉහළ විශේෂඥ දැනුමෙන් යුතු මානව සම්පත්, උසස් තාක්ෂණය හා අතිනවීන පහසුකම් සහිතව ශ්‍රී ලංකාවේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සඳහා වන ප්‍රමුඛතම ජාතික මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වන නමුත්, ශල්‍යකර්ම සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මේ වන විට දිගු පොරොත්තු ලේඛන පවතින තත්ත්වයට පත්ව ඇත. එබැවින්, ශ්‍රී ලංකා ජාතික රෝහලේ සේවාවන්හි දිගුවක් ලෙස ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ පහසුකම් භාවිත කරමින් ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන් සඳහා ශල්‍යකර්ම සිදු කිරීමේ සහ විශේෂඥ ප්‍රතිකාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වරදකරුවන් භාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පෝලන්ත ජනරජය අතර ගිවිසුම


ශ්‍රී ලංකාව තුළ වරදකරුවකු කරනු ලැබූ වෙනත් රටක පුරවැසියකුට එම පුද්ගලයාගේ මව් රටේදී එම දඬුවම විඳීමට හැකි වන පරිදි වන විධිවිධාන 1995 අංක 5 දරන වරදකරුවන් භාරදීමේ පනත මඟින් සලසා ඇත. එමෙන්ම, වෙනත් රටකදී වරදකරුවකු කර සිරදඬුවම් පමුණුවනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියකුට එම පුද්ගලයාගේ ඉතිරි දඬුවම් කාලය ශ්‍රී ලංකාවේදී ගෙවා දැමීම සඳහා නැවත ශ්‍රී ලංකාවට භාරදීමට ද එකී පනත මඟින් විධිවිධාන සලසනු ලැබ තිබේ. ඒ අනුව, වරදකරුවන් කරනු ලැබ ඇති තැනැත්තන්ට එම දඬුවම තම මව් රටේ විඳීමට අවස්ථාව සලසා ඔවුන්ගේ සමාජ පුනරුත්ථාපනයට දායකත්වයක් ලබා දිය හැකි වන පරිදි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ පෝලන්ත ජනරජය අතර වරදකරුවන් භාර දීමේ ගිවිසුමකට දෙරට අතර අත්සන් තැබීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොරියානු සෙරමික් ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය අතර පර්යේෂණ බාහිරකරණය කිරීමේ කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තැබීම


- ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනයෙහි පර්යේෂණ කණ්ඩායමක් විසින් 'ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ඇති ක්වාර්ට්ස් (තිරිවාණා) සහ සිලිකා වැලි සඳහා සැකසුම් තාක්ෂණය සංවර්ධනය කිරීම' යන මැයෙන් ඉදිරිපත් කරනු ලැබූ පර්යේෂණ සංකල්ප යෝජනාවක්, කොරියානු නව නිපැයුම් ප්‍රවර්ධන සංගමය විසින් 2025 වර්ෂයේදී බුද්ධිමය දේපළ හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් ලෙස තෝරා ගනු ලැබිණි. එකී ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහි පළමු අදියර සඳහා වන අවබෝධතා ගිවිසුම කොරියානු ජනරජයේ කොරියානු නව නිපැයුම් ප්‍රවර්ධන සංගමය සහ ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය අතර අත්සන් තැබීම සඳහා 2026-04-06 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු සෙරමික් ඉංජිනේරු හා තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය අතර කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹීමට නියමිතව ඇත. එකී ගිවිසුම මඟින් අදාළ පර්යේෂණ කටයුතු සඳහා කාර්මික තාක්ෂණ ආයතනයට අවශ්‍ය අරමුදල්, ද්‍රව්‍ය, පර්යේෂණ උපකරණ සහ තාක්ෂණික සහාය කොරියානු සෙරමික් ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනයේ සහාය ඇතිව කොරියානු ජනරජය වෙතින් සපයා ගැනීම සඳහා නීතිමය පදනම සැලසෙනු ඇත. ඒ අනුව, 'ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ඇති ක්වාර්ට්ස් සහ සිලිකා වැලි සඳහා සැකසුම් තාක්ෂණ සංවර්ධනය' ව්‍යාපෘතියේ දෙවන අදියරේ ක්‍රියාකාරකම් සඳහා කොරියානු සෙරමික් ඉංජිනේරු හා තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කාර්මික තාක්ෂණ ආයතනය අතර පර්යේෂණ බාහිරකරණ කිරීමේ කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තැබීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය සතුව පැවති, දැනට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව භාරයේ පවතින භාවිතයට ගත හැකි වාහන සහ යන්ත්‍රෝපකරණ පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ අනෙකුත් රජයේ ආයතන වෙත පැවරීම

ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය සතුව පැවති දිවයින පුරා යටිතල පහසුකම් සහ සංවර්ධන කටයුතු සඳහා යොදවා තිබූ ඉදිකිරීම් වාහන සහ බර යන්ත්‍රෝපකරණ රාශියක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පවරනු ලැබ තිබේ. එකී වත්කම් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් වර්තමානයේදී ප්‍රයෝජනයට ගනු නොලබන අතර, ඒවායින් සැලකිය යුතු ප්‍රමාණයක් අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි වටිනා ඉඩම් කොටසක ගබඩා කර තබා ඇත. ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය, වාරිමාර්ග සංවර්ධනය සහ අනෙකුත් යටිතල පහසුකම් කටයුතු සඳහා වන පළාත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී භාවිතයට ගැනීම පිණිස එකී වාහන සහ යන්ත්‍රෝපකරණ ලබා දෙන ලෙස උතුරු මැද පළාත් සභාව සහ පළාත් පාලන ආයතන කිහිපයක් විසින් ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව භාරයේ දැනට පවතින, එවකට ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයට අයත්ව තිබූ, භාවිත කිරීමට යෝග්‍ය වාහන සහ යන්ත්‍රෝපකරණ, පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අවශ්‍යතා මත පදනම්ව, රජයේ තක්සේරු වටිනාකම ගෙවීමට යටත්ව, එකී ආයතන වෙත පවරා දීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 

අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට දීමනාවක් ලබා දීම
2026 වර්ෂය සඳහා වන අයවැය මඟින් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා එක් සිසුවෙකුට රුපියල් 5,000/-ක මාසික දීමනාවක් ලබා දීම පිණිස යෝජනා කරනු ලැබ ඇත. එම දීමනාව ලබා දීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීම පිණිස දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ගෙන් අයදුම්පත් කැඳවා ඇති අතර, අයදුම්කරුවන් 5,530ක් සුදුසුකම් ලබා තිබේ. ඒ අනුව, එම සිසුන් සියලු දෙනා වෙත අදාළ මාසික දීමනාව ගෙවීම පිණිස ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීම සඳහා ලොතරැයිපත් මුද්‍රණය, සැපයීම සහ ගෙනැවිත් භාර දීමේ ප්‍රසම්පාදනය
- ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීම් සිදු කරනු ලබන ගොවිසෙත, NLB හඳහන, මෙගා පවර්, ධන නිධානය, NLB ජය, අද සම්පත සහ සුබ දවසක් යන ලොතරැයිපත් වර්ෂයක කාලයක් සඳහා මුද්‍රණය, සැපයීම සහ ගෙනැවිත් භාර දීමේ ප්‍රසම්පාදනය සඳහා එක් එක් ලොතරැයි සන්නාමය අනුව ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුව ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 05ක් ලැබී තිබේ. ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව අදාළ ලොතරැයිපත් මුද්‍රණය, සැපයීම සහ ගෙනැවිත් භාර දීමේ ප්‍රසම්පාදනයන් සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත පහත දැක්වෙන පරිදි ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

ලංසුකරුගේ නම
රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව

ලොතරැයිපත් ප්‍රමාණය මත පදනම්ව වටිනාකම (වැට් රහිත) (රු.මි.)
ගොවිසෙත    - 103.42
NLB හඳහන - 91.30
මෙගා පවර්     - 88.22
====================
ලංසුකරුගේ නම
සිලෝන් බිස්නස් ඇප්ලයන්සස් (පුද්ගලික) සමාගම

ලොතරැයිපත් ප්‍රමාණය මත පදනම්ව වටිනාකම (වැට් රහිත) (රු.මි.)
අද සම්පත-    83.36
NLB ජය - 67.80
සුබ දවසක්    - 72.86

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන්, කුඩා වැව් 1,599ක්, අමුණු 1,686ක් සහ ඇළ මාර්ග 4,042ක් හානියට පත් වී තිබේ. එබැවින්, වී වගාවට අවශ්‍ය ජල සම්පාදනය සහ ජල කළමනාකරණය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් උදා වී ඇත. හානියට පත් සුළු වාරිමාර්ග 883ක් 2026 වර්ෂය තුළදී ප්‍රතිසංස්කරණය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරමින් පවතී. එයට අමතරව තවදුරටත් ප්‍රතිසංස්කරණය කළ යුතු බවට හඳුනා ගනු ලැබ ඇති කුඩා වැව්, ඇළ මාර්ග හා අමුණු 5,935ක් පමණ පවතී. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු භෞතික හා මානව සම්පත් උපයෝජනය කිරීමෙන් පමණක් හානියට පත් සුළු වාරි කර්මාන්ත කඩිනමින් ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමට නොහැකි බව නිරීක්ෂණය කරනු ලැබ ඇත. එයට විකල්පයක් වශයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අනුබද්ධිත සමාගමක් ලෙස පිහිටුවා ඇති මහවැලි උපදේශන කාර්යාංශය මඟින් අදාළ කටයුතු කඩිනමින් ඉටු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදේශකත්වය ලබා ගත හැකි බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ සුළු වාරි කර්මාන්ත 5,935 ප්‍රතිසංස්කරණය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය වන රුපියල් මිලියන 12,170ක මුදලින් රුපියල් මිලියන 2,000ක් හදිසි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2026 වර්ෂයේදී ද, ඉතිරි මුදල 2027 වර්ෂයේදී ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වෙන් කර ගැනීමටත්, එකී සුළු වාරි කර්මාන්ත ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළ තාක්ෂණික උපදේශකත්වය මහවැලි උපදේශන කාර්යාංශය වෙතින් ලබා ගැනීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 

සෙත්සිරිපාය අදියර IIIහි ඉතිරි ඉදිකිරීම් වැඩ කටයුතු අවසන් කිරීම

රජයේ සහ අර්ධ රාජ්‍ය අංශය තුළ පරිපාලන කාර්යාල ඉඩකඩ සඳහා පවතින ඉහළ යමින් පවතින ඉල්ලුම සපුරාලීම පිණිස සෙත්සිරිපාය අදියර III ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලැබ තිබේ. මුලික අවස්ථාවේදී එකී ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 16.7ක් විය. එකී ව්‍යාපෘතියේ ටැඹ අත්තිවාරම සඳහා සහ උපරිව්‍යුහය සඳහා වන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස මින් පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2021වර්ෂයේදී ආරම්භ කර මහල් 03ක් සම්පූර්ණ වන තෙක් ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබ තිබේ. එහෙත්, ඉන් අනතුරුව රටේ පැවති ආර්ථික අස්ථාවරත්වය, අමුද්‍රව්‍ය හිඟය, ආනයන සීමා කිරීම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මුහුණ දුන් දුෂ්කරතා මත දෙපාර්ශ්වයේම එකඟතාවයෙන් යුතුව එම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා ඇත. එහෙත්, රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල කාර්යාල පහසුකම් අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සම්පූර්ණ කිරීම සඳහා එම ව්‍යාපෘතිය ඒකාබද්ධ මූල්‍යකරණයෙන් යුත් සංවර්ධන කටයුත්තක් ලෙස ක්‍රියාත්මක කිරීම යෝජනා කර ඇති අතර, ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට හඳුනාගනු ලැබ ඇති බලශක්ති අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරිය වෙත වෙන් කිරීමට යෝජිත කාර්යාලයීය ඉඩකඩ ප්‍රමාණයට සමානුපාතිකව මූල්‍ය දායකත්වයන් සලසා ගනිමින් ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතිය සඳහා මේ වන තෙක් දරා ඇති පිරිවැය, ව්‍යාපෘතියේ ඉතිරි වැඩකටයුතු අවසන් කිරීමට වැය කළ යුතු පිරිවැය, අනෙකුත් වියදම් සහ අදාළ බදු ඇතුළුව ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 38.48ක් ලෙස ගණනය කර තිබේ. ව්‍යාපෘතියේ මුල් විෂයපථයට බලපෑමක් නොවන පරිදි ව්‍යාපෘති ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුල් කොන්ත්‍රාත්කරු වන M/s Maga Engineering (Pvt) Ltd විසින් ඉතිරි වැඩකටයුතු අවසන් කිරීම සඳහා මූල්‍ය යෝජනාවක් ද ඇතුළත් තාක්ෂණික යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, එම යෝජනාව විචලන සමාලෝචන කමිටුව විසින් ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව ව්‍යාපෘතියේ ඉතිරි වැඩකටයුතු රුපියල් බිලියන 22.76ක (නිම කරන ලද වැඩවල වටිනාකම, පියවිය යුතු ගෙවීම්, අවිනිශ්චිත මුදල්, බදු සහ දෛනික වැඩ රහිත) මුදලකට අවසන් කිරීමට කොන්ත්‍රාත්කරු විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, නිම කරන ලද වැඩවල වටිනාකම හා පියවිය යුතු ගෙවීම් ඇතුළත්ව රුපියල් බිලියන 25.58ක මුදලකට (අවිනිශ්චිත මුදල්, බදු සහ දෛනික වැඩ රහිත) M/s Maga Engineering (Pvt) Ltd සමඟ සංශෝධිත ගිවිසුමකට එළඹීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා ඖෂධ ප්‍රසම්පාදනය කිරීම

රජයේ සෞඛ්‍ය අංශය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය පාරිභෝජ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව සැපයීමේදී මතුවන ප්‍රසම්පාදන අභියෝග සැලකිල්ලට ගනිමින්, හදිසියේ අවශ්‍ය වන ඖෂධ ලබා ගැනීම පිණිස විශ්වසනීය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අතර සාකච්ඡා පවත්වනු ලැබ තිබේ. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් 'අත්‍යවශ්‍ය සහ විරල රෝග සඳහා වන ඖෂධ ප්‍රසම්පාදනය සඳහා වන දිගුකාලීන හවුල්කාරිත්වය' මැයෙන් යුතුව සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර, තීරණාත්මක ඖෂධ නිෂ්පාදනයන් ප්‍රසම්පාදනය සහ සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ රාමුවක් යෝජනා කර ඇත. යෝජිත හවුල්කාරිත්වය යටතේ ආනයනය කරනු ලබන සියලුම ඖෂධ ශ්‍රී ලංකාව තුළ බෙදා හැරීමට පෙර අදාළ නියාමන සහ ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් කටයුතු කරනු ලැබේ. ඒ අනුව, අත්‍යවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව සැපයීමට හැකි වන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ හා පාරිභෝජ්‍ය ස්වභාවයේ වෛද්‍ය උපාංග, විශේෂිත වැඩසටහන් ඖෂධ හා විරල රෝග සඳහා වන ඖෂධ ප්‍රසම්පාදනය සහ සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ මුල්‍ය ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


නාට්‍ය, ප්‍රාසාංගික කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ විෂය ක්ෂේත්‍ර 09ක් නියෝජනය කරමින් අනුමණ්ඩල 09ක් ක්‍රියාත්මක වුව ද ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් එම අනුමණ්ඩලවල ක්‍රියාකාරකම් සීමා වී තිබීම මත ඒවායේ කටයුතු බොහෝ දුරට ජාතික මට්ටමට හා අගනගරයට සීමා වී ඇත. එමෙන්ම, වර්තමානයේ ප්‍රේක්ෂකයින් අඩු වීම, නව නිෂ්පාදන පහත වැටීම, ශාලා හිඟකම සහ සමාජ මාධ්‍යවල තරගකාරිත්වය හේතුවෙන් නාට්‍ය, ප්‍රාසාංගික කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රයන් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. එබැවින්, නාට්‍ය, ප්‍රාසාංගික කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රය ජාතික මට්ටමින් මෙන්ම ප්‍රදේශීය මට්ටමින් ද පුනර්ජීවනය කිරීම, ප්‍රාදේශීය කලාකරුවන් සවිබල ගැන්වීම හා අනාගත පරම්පරාවන් වෙත සංස්කෘතික උරුමය දායාද කිරීම යන අරමුණු සහිතව යෝග්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2026 වාර්ෂික අයවැයෙන් රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ තිබේ. එකී ප්‍රතිපාදන යොදා ගනිමින් පහත සඳහන් පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ ඇති අනුමණ්ඩල 09 නියෝජනය කරන විෂය ක්ෂේත්‍ර ප්‍රාදේශීය මට්ටමින් ප්‍රවර්ධනය කිරීම.
රාජ්‍ය නාට්‍ය උලෙළ වඩාත් විචිත්‍රාංගීකරණය කරමින් පැවැත්වීම සහ නව නාට්‍ය නිර්මාණ හා රංගගත කිරීම් දිරිගැන්වීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.
බහු සංස්කෘතික මධ්‍යස්ථාන පදනම් කර ගනිමින් බහු සංස්කෘතික කලා මංගල්‍යයන් පැවැත්වීම.
සංස්කෘතික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ගොඩනගන ලද සිනමා පර්ෂදවලට පහසුකම් සැලසීම.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවදානමට ලක්ව ඇති ජාතික මූලික අධ්‍යයන ආයතනයේ රසායනාගාර ගොඩනැගිලි පද්ධතියේ ව්‍යුහාත්මක ස්ථායිතාව තහවුරු කිරීම

1981 අංක 55 දරන ජාතික මූලික අධ්‍යයන ආයතනය පනතින් ස්ථාපිත කරනු ලැබ ඇති ජාතික මූලික අධ්‍යයන ආයතනය ශ්‍රී ලංකාවේ මූලික විද්‍යාත්මක පර්යේෂණ සිදු කරනු ලබන සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය උදෙසා සුවිශේෂී දායකත්වයක් සපයන ජාතික මට්ටමේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයකි. 2025 වසරේ නොවැම්බර් මාසයේදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව සමඟ පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් මහනුවර, හන්තාන ප්‍රදේශයේ පිහිටි ජාතික මූලික අධ්‍යයන ආයතන පරිශ්‍රය තුළ සහ අවට නායයෑමක් සිදු වී තිබේ. ඒ හේතුවෙන් ආයතනයේ ප්‍රධාන රසායනාගාර ගොඩනැගිලි පද්ධතියේ ව්‍යුහාත්මක ස්ථායිතාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති අතර, යාබද පදිංචිකරුවන්ගේ ජීවිත හා දේපළවල ආරක්ෂාවට ද බරපතල අවදානමක් මතුව තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අදාළ භූ තාක්ෂණික හා ව්‍යුහාත්මක ඇගයීම් සිදු කිරීමෙන් අනතුරුව, හානියට පත් ප්‍රදේශය ස්ථායීකරණය කිරීම සඳහා ආරක්ෂක බැම්මක් ඉදි කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවට නිර්දේශ කරනු ලැබ ඇත. එම කාර්යය සඳහා වන පිරිවැය රුපියල් මිලියන 250ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. ඒ අනුව, අදාළ ව්‍යාපෘතියේ සැලසුම්කරණය, භූතාක්ෂණික ඇගයීම් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කළමනාකරණය කිරීමේ වගකීම ඍජු කොන්ත්‍රාත් පදනම මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වෙත පැවරීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කටාන ජාතික පොලිස් විද්‍යාපීඨය සඳහා වන නව නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

කටාන ජාතික පොලිස් විද්‍යාපීඨය සඳහා වන නව නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස අදාළ ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන අස්ථිත්වය ලෙස කටයුතු කරන ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය යටතේ ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසුකරුවන් 10 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූල ලෙස ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් (පුද්ගලික) සමාගම වෙත ජාතික පොලිස් විද්‍යාපීඨය සඳහා වන නව නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 614.98ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට පිරිනැමීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාවෙන් බැහැරට අනවසරයෙන් අරමුදල් මාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අපරාධ වරදක් ලෙස හඳුන්වා දීමට හැකි වන පරිදි එකී පනත සංශෝධනය කිරීම
ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකු භාණ්ඩ ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ගෙවීමක් ලෙස රටින් බැහැරට අරමුදල් ප්‍රේෂණය කර ඉන් අනතුරුව සාධාරණ කාලසීමාවක් තුළ ඊට අනුරූප භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අපොහොසත් වන්නේ නම්, එවැනි ප්‍රේෂණය කිරීමක් රටින් බැහැරට සිදු කළ අනවසර විදේශ විනිමය මාරු කිරීමක් ලෙස සැලකිය හැකිය. විදේශ විනිමය පනතේ දැනට පවතින ප්‍රතිපාදන යටතේ එවැනි අනවසර මුදල් මාරු කිරීම් සම්බන්ධයෙන් ගත හැකි එකම පියවර වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ ප්‍රේෂණයේ වටිනාකමට සමාන වන ශ්‍රී ලංකා රුපියල්වලින් වන මුදලක් මූල්‍ය දඩයක් වශයෙන් පැනවීම පමණි. එවැනි අනවසර අරමුදල් මාරු කිරීම් විදේශ විනිමය පනත යටතේ අපරාධ වරදක් ලෙස අර්ථ දක්වා නොමැති බැවින්, අපරාධ නඩු පැවරීමක් සඳහා වන නෛතික ප්‍රතිපාදන ද එම පනතේ අඩංගු නොවේ. එබැවින්, ශ්‍රී ලංකාවෙන් පිටතට අනවසර මුදල් මාරු කිරීම් විදේශ විනිමය පනත යටතේ අපරාධ වරදක් ලෙස ස්ථාපිත කිරීම මඟින් විමර්ශන ආයතනවලට සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවලට අදාළ නීතිමය රාමුව යටතේ එවැනි සිදුවීම්වලට එරෙහිව ඵලදායි ලෙස පියවර ගැනීමට අවස්ථාව සැලසෙන බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් බැහැරට සිදු කෙරෙන අනවසර මුදල් මාරු කිරීම් අපරාධ වැරදි ලෙස හඳුනාගැනීම පිණිස විදේශ විනිමය පනත යටතේ විශේෂිත විධිවිධාන හඳුන්වා දීමට හැකි වන පරිදි 2017 අංක 12 දරන විදේශ විනිමය පනත සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදී.

2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සහ (123 අධිකාරය වූ) 1891 අංක 16 දරන සමිති ආඥාපනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම

රාජ්‍ය ආයතන විසින් සේවා සම්පාදනය සඳහා අය කරනු ලබන ගාස්තු සංශෝධනය හා නව ගාස්තු අය කිරීම පිළිබඳව විධිවිධාන රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 01/2020 හා එයට ආනුෂංගික චක්‍රලේඛ මඟින් හඳුන්වා දී තිබේ. ඒ අනුව, පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති පනතක් හෝ වෙනත් යම් නීතියකින් ගාස්තු නියම කිරීම, අය කිරීම හෝ සංශෝධනය කිරීම පිළිබඳව විධිවිධාන සලස්වා ඇති ආයතනවලට එම පනත/නීතිය මඟින් නියම කර ඇති ආකාරයට අදාළ ගාස්තු සංශෝධනය කළ හැකිය. 2007 අංක 07 දරන සමාගම් පනතේ 477 වන වගන්තිය සමඟ කියවිය යුතු 527 වන වගන්තිය යටතේ දැක්වෙන කාර්යයන් සම්බන්ධව රෙගුලාසි මඟින් ගාස්තු පැනවිය හැකි අතර, 1891 අංක 16 දරන සමිති ආඥාපනතේ 20 වන වගන්තිය සමඟ කියවිය යුතු 19 වන වගන්තිය යටතේ, මුදල් විෂය භාර අමාත්‍යවරයා විමසා අදාළ පනත යටතේ දක්වා ඇති කාර්යයන් සම්බන්ධව රෙගුලාසි මඟින් ගාස්තු පැනවිය හැකි වේ. අංක 2303/07 දරන 2022-10-25 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් අවසන් වරට සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සේවා ගාස්තු සංශෝධනය කර තිබේ. එබැවින්, වර්තමාන තත්ත්වයන්ට අනුකූල වන පරිදි එම ගාස්තු සංශෝධනය කරමින් පනවන ලද 2026-07-06 දිනැති අංක 2496/03 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සමාගම් (ගාස්තු) නියෝග/සමිති (ගාස්තු) නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාවණා ඇල්ල අභයභූමියේ පිහිටි නිල්දිය පොකුණ ආශ්‍රිත සංචාරක කටයුතු, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ නියාමනය යටතේ ආරම්භ කිරීම

බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කරඳගොල්ල ග්‍රාම නිලධාරි වසමේ රාවණා ඇල්ල අභයභූමියේ අභ්‍යන්තර ගුහා සංකීර්ණයක් තුළ පිහිටි නිල්දිය පොකුණ ඉතා දුර්ලභ ගණයේ ස්වභාවික ජල මූලාශ්‍රයක් වේ. එම ස්ථානය එහි පවතින සුවිශේෂ භූගෝලීය ලක්ෂණ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ජනප්‍රියත්වයට පත් සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇත. නිල්දිය පොකුණ සංරක්ෂණය කළ යුතු දුර්ලභ ගණයේ ස්වභාවික සම්පතක් වීම හේතුවෙන් එම ස්ථානයේ සංචාරක කටයුතු විධිමත් ලෙස අධීක්ෂණය හා නියාමනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් වශයෙන් හඳුනාගනු ලැබ තිබේ. ඒ සඳහා යෝජනා සහ නිර්දේශ ලබා ගැනීම පිණිස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අදාළ රාජ්‍ය ආයතන නියෝජනය වන පරිදි තාක්ෂණික කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව විසින් අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී වාර්තාවේ ඇතුළත් යෝජනා හා නිර්දේශ මත පදනම්ව, සංචාරක කටයුතු නියාමනය කිරීම සඳහා සකස් කරන ලද නියෝග නීති කෙටුම්පත් සම්පාදක විසින් පරීක්ෂා කර බලා තහවුරු කර ඇත. ඒ අනුව, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධාන අනුව අදාළ නියෝග ගැසට් පත්‍රයේ පළ කර ප්‍රකාශයට පත් කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නිකුත් කරන ලද නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ මරීනා හොටෙල් හෝල්ඩිංග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම සඳහා 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ හෝම් ලෑන්ඩ්ස් පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර ලෙස නම් කිරීම සඳහා 2026-05-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එකී ආයතන තුන ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර ලෙස නම් කිරීමට අදාළව 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද පහත සඳහන් අති විශෙෂ ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

මරීනා හොටෙල් හෝල්ඩිංග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්    
අංක 2483/17 දරන 2026-04-10 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය

හෝම් ලෑන්ඩ්ස් පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ්    
අංක 2488/03 දරන 2026-05-11 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය

රයිම් මෙල්වා පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ්    
අංක 2488/04 දරන 2026-05-11 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය




'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම' සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතෙහි පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව මත එකී කරුණට අදාළව මූලික කෙටුම්පතක් සකස් කිරීම පිණිස තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇත. එකී තාක්ෂණික විශේෂඥ කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත' නමින් නව පනතක් හඳුන්වා දීම සඳහා 2026-08-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ පනත් කෙටුම්පත සඳහා නීතිපති නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.