ආනයනය කරනු ලබන වාහන තීරු බදු දීර්ඝ කෙරේ

ආනයනය කරනු ලබන වාහන තීරු බදු දීර්ඝ කෙරේ

by Staff writer 14-08-2026 | 10:13 PM

COLOMBO(News1st) -  ආනයනය කරනු ලබන වාහන මත අය කෙරෙන තීරු බදු මත පැනවූ 50%ක අධිභාරය දෙසැම්බර් 31දක්වා දීර්ඝ කර තිබේ.

විදේශ විනිමය වැයවන ප්‍රමාණය අඩු කිරීමේ අරමුණින් එම අධිභාරය පනවනු ලැබුවේ පසුගිය මැයි මස 16 වැනිදායි.

මුදල් අමාත්‍යංශය විසින් එය පැනවූයේ මාස 03කට බල බැවැත්වෙන පරිදියි.

එම කාල සීමාව හෙට දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

ආනයනික මෝටර් රථයක් සඳහා මැයි මාසය තෙක් අය කළ 30% ක, රේගු ආනයන බද්ද මත, තවත් 50% ක අතිරේක බද්දක් පනවනු ලැබීය.

ඒ අනුව සාමාන්‍ය බද්ද හා ප්‍රමුඛතා බද්ද මත සියයට 50 ක ආනයන තැන්පතු මුදල් ගෙවිය යුතුයි!

පුද්ගල ප්‍රවාහන මෝටර් රථ, බස්රථ, ජිප් රථ, වෑන් රථ, භාණ්ඩ ප්‍රවාහන වාහන, ගිලන් රථ, මෝටර් රථ හා ඉඩම් වාහනවලට එම අතිරේක බදු අදාළ වේ.

හයිබ්‍රිඩ් වාහන කාණ්ඩය යටතේ ඇති පූර්ණ විදුලි වාහන හා හයිබ්‍රිඩ් වාහනවලටත් එම අතිරේක බද්ද බලාත්මකයි.

කෙසේ වෙතත් 2026 මැයි මස 15 වන දින හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි යටතේ ගෙන්වනු ලබන, මෝටර් වාහන සඳහා මෙම 50% අධිභාරය අදාළ වන්නේ නොවේ.

​2026 මැයි මස 15 දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර තිබුණද, ​ණයවර ලිපි සංශෝධනය කර තිබීම හෝ නැව්ගත කිරීමේ දිනය කල් යාම හේතුවෙන් අදාළ මෝටර් වාහන සඳහා 50% අධිභාරය අනිවාර්යයෙන්ම අය කරනු ලබයි.