මරණ දඬුවම යළි එයිද ?

මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය. - PMD

by Staff writer 10-08-2026 | 6:37 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි  “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමුවී තිබේ.

එම මෙහෙයුම් සභාව අද(10) රැස්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන විට පුද්ගල සබඳතාවලින් ඔබ්බට යමින් සමස්ත ආර්ථික සහ සමාජ දේහයම බරපතළ තර්ජනයකට ලක් කර තිබීමත්, ඉන් නොනැවතී එම තත්ත්වය වර්ධනය වෙමින් තිබීම පිළිබඳව එහිදි අවධානය යොමුව තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා අසීමිත ධනය ආශ්‍රිතව ගොඩනැගී ඇති අපරාධමය පරිසරය මේ වන විට ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාරධර්ම පද්ධතියට විශාල තර්ජනයක් බව එහිදි ප්‍රකාශ කෙරිණි.

එබැවින්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ පිළිබඳව බිය වන සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා කර තිබේ.

සමස්ත සමාජ දේහයම බිඳ දමමින්, රටේ අනාගත පරපුර ගොඳුරු කර ගනිමින් සිටින විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම වෙනුවෙන් රට තුළ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයක් සහ කඩිනම් මතවාදී පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදි පෙන්වා දී තිබේ.

මේ අතර මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන, කුරුවිට යන බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ දේපළ හානිය රුපියල් මිලියන 255කට අධික බව එහිදි අනාවරණය වු තවත් කරුණකි.

බන්ධනාගාර රැඳවියන් කළහාකාරී ලෙස හැසිරීම අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳව ද එහිදි සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.