ලෝක ආදිවාසී දිනය අදයි..

ලෝක ආදිවාසී දිනය අදයි..

by Staff writer 09-08-2026 | 7:44 AM

ලෝක ආදිවාසී දිනය අදට යෙදී තිබේ.

ආදිවාසී සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳව තීරණ ගැනීමට, ආදිවාසී තරුණ තරුණියන් නියෝජිතයින් ලෙස හඳුනාගැනීම, මෙවර එහි තේමාවයි.

ලොව පුරා රටවල් 90 ක, ආදිවාසීන් මිලියන 476 ක් සිටින බවට, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබේ.

ඔවුන් නියෝජනය කරන්නේ, ලෝක ජනගහනයෙන් සියයට 6 කටත් අඩු ප්‍රමාණයකි.

ඔවුන්, විවිධ සංස්කෘතීන් 5,000 ක් පමණ නියෝජනය කරන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ලොව පුරා දිළිඳු ප්‍රජාවගෙන් 15% ක්, ආදීවාසීන් බව හඳුනාගෙන තිබේ.

මේ අතර, මෙරට පරිසර ආරක්ෂණය සහ ආදිවාසී ප්‍රජාවගේ සාම්ප්‍රදායික අයිතිවාසිකම් තහවුරු කෙරෙන නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතයි.

ඒ, ජාතික උද්‍යාන සහ නම් කරන ලද ආරක්ෂිත ප්‍රදේශ තුළ ආදිවාසී ප්‍රජාවගේ සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් නියාමනය කිරීම සහ පාරිසරික පද්ධතීන් සුරක්ෂිත කිරීමේ අරමුණින් ය.

ආදීවාසීන් රක්ෂිත වලට ඇතුලුවීමේදී මතුවන ගැටලු අවම කිරීමේ රෙගුලාසි, ඊට ඇතුළත් ය.

නව රෙගුලාසි හඳුන්වාදීමත් සමග, ආදීවාසී ජනතාවට මාදුරුඔය සහ ගල්ඔය ජාතික උද්‍යාන ආශ්‍රිතව සිය දෛනික ඇවතුම් පැවතුම් මෙන්ම, ජීවනෝපාය බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකියි.