.webp)

මෙහිදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජාතික බාලදක්ෂ කර ලේන්සුව පළඳවා පිළිගැනීම සිදු කරන ලදී.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා, ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට අවස්ථාව සලසා දීම පිළිබඳව ස්තුතිය පළ කළේය.
බාලදක්ෂ සේවා සැපයීම හුදෙක් අරමුදල් රැස් කිරීමේ අරමුණින් සිදුකරන කාර්යයක් නොවන බව සඳහන් කළ ඒ මහතා, වැඩිහිටියන් තමන් වෙනුවෙන් දරන ශ්‍රමයේ වටිනාකම කුඩා අවධියේ සිටම දරුවන්ට ප්‍රායෝගිකව අවබෝධ කරදීම තුළින් සහකම්පනයෙන් යුත් අනාගත පරපුරක් බිහි කිරීම බාලදක්ෂ සේවා ක්‍රියාකාරකම්වල ප්‍රධාන අරමුණක් බවද පැවසීය.
උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, දිවයින පුරා විහිදී සිටින සාමාජිකයන්ගෙන් සමන්විත බාලදක්ෂ ව්‍යාපාරයට රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සමඟ ඒකාබද්ධව සිදු කළ හැකි කාර්යයන් පිළිබඳ සැලැස්මක් සකස් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී.
දරුවන් හා තරුණ පරපුරේ, නායකත්ව හැකියාව, පෞරෂය, ස්වයං විශ්වාසය හා සේවා හැඟීම වර්ධනය කරමින් ඔවුන් යහපත් හා වගකීම් සහිත පුරවැසියන් බවට පත් කිරීමට බාලදක්ෂ ව්‍යාපාරය ලබාදෙන දායකත්වය අගය කළ ජනාධිපති ලේකම්වරයා, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි බාලදක්ෂ ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවද මෙහිදී ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව බාලදක්ෂ නියෝජිතයන් විසින් ජාතික බාලදක්ෂ සේවා ක්‍රියාකාරකම් නිල වශයෙන් ආරම්භය සිදු කරන ලදී. එම සේවා ක්‍රියාකාරකම් නිරීක්ෂණය හා ඇගයීමෙන් පසුව, වැඩසටහන දියත් කිරීම සනිටුහන් කරමින් සකස් කළ සමරු කාඩ්පතට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අත්සන් තබන ලදී.
සමූහ නිල ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු අවසන් කෙරිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ක්‍රිෂානි සී. විතානගේ, බාලදක්ෂ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් කපිල කල්‍යාණ පෙරේරා, ජාතික වැඩසටහන් කොමසාරිස් ගීත් රමේෂ්, ජාත්‍යන්තර කොමසාරිස් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඒ. බී. ඩබ්ලිව්. ඊරියාව සහකාර ප්‍රධාන කොමසාරිස්වරුන් වන කේ. බී. ජී. කේ. පී. සම්පත්, ඩබ්. එම්. එල්. චන්ද්‍රානි ප්‍රනාන්දු, ප්‍රභාත් කුලරත්න, අමිල් අබේසුන්දර, එච්.එල්.කපිල ප්‍රියන්ත, මූලස්ථාන කොමසාරිස්වරුන් වන එස් අමරරාජ් , ඒ.ජෙගනාදන්, ඩී ඒ ඉනෝකා චාමිනී ජයසේකර, බී.ඒ.සජීව අබේවර්ධන, විශේෂ කොමසාරිස්වරුන් වන එම්. ඊ. එස්. ජයසිංහ, සඳුන් ජීවන්ත පතිරණ ඩබ්ලිව්.එම්.එම්.එස්.කේ. තලකිරියාව, පළාත් කොමසාරිස් කැප්ටන් බී.ඒ.ඩී. ආර්. ඉන්දික බාලචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළුව බාලදක්ෂ ව්‍යාපාරයේ සියලු අංශ නියෝජනය කරමින් සිඟිති බාලදක්ෂ, පෝතක බාලදක්ෂ, මානවක බාලදක්ෂ සහ රෝවර් බාලදක්ෂයින් මෙන්ම බාලදක්ෂ නායක නායිකාවන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
