අද සිට වැසි තත්ත්වය වැඩි විය හැකි බවට අනාවැකි...

අද සිට වැසි තත්ත්වය වැඩි විය හැකි බවට අනාවැකි...

by Staff writer 06-08-2026 | 7:09 AM

COLOMBO(News1st) - අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි හා සුළං තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන්.

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය හා ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරුමැද, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ද ඇති විය හැකියි.

මේ අතර ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම් මේ වන විට පහළ යමින් පවතින බව මහවැලි අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ. හේරත් සඳහන් කළේ, කොත්මලේ ප්‍රදේශයට ලැබුණු වර්ෂාපතනය පසුගිය දිනවලට වඩා මේ වනවිට යම් අඩුවීමක් පෙන්නුම් කරන බවයි.

කෙසේ වෙතත් ජලාශයේ ජල ධාරිතාව සියයට 90ත් 95ත් අතර මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසුවා.
කොත්මලේ ජලාශයෙන් මේ වන විට ජලවිදුලි නිෂ්පාදනය සඳහා තත්පරයට ඝනමීටර 100ක ජල ප්‍රමාණයක් නිකුත් කරනු ලබන බව ඔහු සඳහන් කළේය..

එමඟින් මෙගාවොට් 200 ඉක්මවූ ජලවිදුලි ධාරිතාවක් පූර්ණ ධාරිතාවයෙන් යුතුව ජාතික පද්ධතියට එකතු කිරීමට හැකිව ඇති බවයි.

මේ අතර වික්ටෝරියා ජලාශයේ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ පොල්ගොල්ල හැරවුම මෙන්ම කොත්මලේ සහ ගම්පොළ ප්‍රදේශවලින් ගලා එන සමස්ත ජල ප්‍රමාණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ද මේ වන විට සියයට 50 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවයි.

මේ අතර මහවැලි ගඟේ පහත් බිම් ආශ්‍රිතව පනවා තිබූ සුළු ගංවතුර අවදානම ඉවත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය..

මේ අතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පැනවූ නායයෑම් පිළිබඳ අනතුරුඇඟවීම් තවදුරටත් බලාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟඉහළ කෝරළේ, පස්බාගේ කෝරළේ, දෙල්තොට, දොළුව, මැදදුම්බර, පන්විල සහ උඩපළාත, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, බුලත්කොහුපිටිය, අරණායක, දෙහිඕවිට සහ දැරණියගල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නෝර්වුඩ්, තලවාකැලේ, කොත්මලේ නැගෙනහිර සහ බටහිර මෙන්ම නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර යන ප්‍රදේශවලට අදියර දෙක යටතේ නායයෑම් අනතුරුඇඟවීම් නිකුත් කර ඇති බවයි.

මේ අතර වැසි සහිත කාලගුණය සැලකිල්ලට ගෙන වසා දැමුණු හැටන් කලාපයේ පාසල් අද යළි විවෘත කරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් එච්.එම්. මධුපානි පියසේන පවසයි.

ඇය වැඩිදුරටත් පැවසුවේ අවශ්‍යතාවක් වෙතොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ අනුමැතියට යටත්ව පාසල් වසා දැමීමට විදුහල්පතිවරුන්ට බලය පැවරෙන බවයි.