.webp)
'සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතිය' (The Global Compact for Safe, Orderly and Regular Migration) යනු ජාත්‍යන්තර සංක්‍රමණයේ සියලු මානයන් පරිපූර්ණ ආකාරයකින් ආවරණය වන පරිදි අන්තර් රාජ්‍ය වශයෙන් සාකච්ඡා කරන ලද එක්සත් ජාතීන්ගේ පළමු මෙවලමයි. එකී සම්මුතිය, ශ්‍රී ලංකා රජය විසින් 2018 දෙසැම්බර් මාසයේදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයේදී පිළිගනු ලැබ ඇත. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විදේශීය රැකියා අවස්ථා ලබා දීමට අමතරව, සංක්‍රමණ ක්‍රියාවලිය තුළින් කුසලතා සංවර්ධනය, ප්‍රවර්ධනය කරනු ලැබීම මඟින් විදේශ ප්‍රේෂණ උත්පාදනය සඳහා දායක වීම වැනි ධනාත්මක ප්‍රතිඵල තවදුරටත් දියුණු කිරීමට සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතිය මඟින් අවශ්‍ය මාර්ගෝපදේශ සැලසීම සිදු කරනු ලබයි. එමෙන්ම, මිනිස් ජාවාරම සහ නීතිවිරෝධී ලෙස පුද්ගලයින් ප්‍රවාහනය කිරීම වැනි සංක්‍රමණය ආශ්රිත අක්‍රමිකතා මැඩපැවැත්වීම සඳහා ද සහාය දක්වනු ලබයි. එම සම්මුතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා එවකට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සම කැඳවුම්කාරිත්වය යටතේ 2021 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමේ කමිටුවක් ස්ථාපිත කර ඇත. එම කමිටුව විසින් 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම සකස් කර තිබේ. එහෙත්, මෙරට ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති අතර, එම කමිටුව නැවත 2025 වර්ෂයේදී ප්රතිසංවිධාන කරනු ලැබ ඇත. එකී කමිටුව විසින් සියලුම පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගනිමින් 2026-2028 කාලසීමාව සඳහා ජාතික සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා විසින් එම ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.
02.'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් බැහැර කිරීමේ ක්‍රමවේදය
දිවයිනට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් පවුල් අතරින් පූර්ණ නිවාස හානි වූ පවුල් සහ නායයෑම් අධි අවදානමට ලක් වූ පවුල් නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. ඒ සඳහා අවශ්‍ය ඉඩම් රජය සතු ඉඩම්වලින් පමණක් සලසා ගැනීමට හැකියාවක් නොමැති බැවින්, පහත සඳහන් පරිදි පියවර ගනිමින් අවශ්‍ය ඉඩම් එම කාර්යයන් සඳහා යොදා ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
මේ වන විට දීමනා පත්‍ර මත වෙනත් පුද්ගලයන් වෙත බැහැර කර ඇති ඉඩම් නැවත පදිංචි කිරීමේ කාර්යය සඳහා යොදා ගැනීම පිණිස හඳුනාගනු ලබන අවස්ථාවලදී, ඉඩමේ සංවර්ධන වටිනාකම ප්‍රාදේශීය ලේකම් මඟින් දීමනාපත්‍ර හිමිකරු වෙත ගෙවා සමාන ආදායම් කාණ්ඩයේම පුද්ගලයකු වෙත එකී ඉඩම විධිමත්ව පවරා දීමට අවසර ලබා දීම.
නැවත පදිංචි කිරීමේ කාර්ය සඳහා පරිත්‍යාගශීලීන් විසින් රජය වෙත පරිත්‍යාග කරන ලද පෞද්ගලික ඉඩම්, රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධාන යටතේ 'ත්‍යාග ඔප්පුවක්' මඟින් පළමුව රජය වෙත පවරා ගැනීමෙන් පසු, 1950 අංක 9 දරන ඉඩම් අත්කර ගැනීමේ පනතේ විධිවිධාන යටතේ එම පුද්ගලයන් වෙතින් වන්දි අත්හැරීමේ ප්‍රකාශය ලබා ගෙන රජයේ අයිතිය ලියාපදිංචි කර ඉදිරි කටයුතු කිරීම.
නැවත පදිංචි වීම සඳහා තමන් සතුව තවදුරටත් සුදුසු ඉඩමක් නොමැති පුද්ගලයින් සඳහා ඉහත ක්‍රම අනුව ඉඩම් ලබා දීමට හැකියාවක් නොමැති අවස්ථාවන්හිදී උපරිම වශයෙන් පර්චස් 10කට යටත්ව, රජයේ ඉඩමකින් හෝ රජය වෙත පරිත්‍යාග කරන ලද ඉඩමකින් ඉඩම් කොටසක් ලබා දීම සඳහා කටයුතු කර, ඉන් අනතුරුව 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ ඉඩමේ අයිතිය ලබා දීමට පියවර ගැනීම.
03.ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය මඟින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය තුළ පවතින ඉහළ පුහුණු අවශ්‍යතා සැලකිල්ලට ගෙන, පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ නව පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අතර 2025-02-10 දින අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට අනුබද්ධ ශාඛාවක් ලෙස එම නව පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් වලව කලාපයේ මයුරපුර කොට්ඨාසයේ හෙක්ටයාර 3.11ක ඉඩම් කොටසක ඉදිකිරීමට සැලසුම් කර තිබේ. කිරිඉබ්බන්වැව පාවෙන සූර්යය විදුලි බලාගාරය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හම්බන්තොට පුහුණු මධ්‍යස්ථානය ආසන්නයේ එම නව පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට යෝජිත බැවින්, සිසුන්ට ඍජු ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව ද හිමි වනු ඇත. යෝජිත නව පුහුණු මධ්‍යස්ථානය සහ අදාළ අනෙකුත් ආයතන ඒකාබද්ධව පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ පුහුණු ජාලයක් (Training Hub) ක්‍රියාත්මක කිරීම එම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ. එකී පුහුණු ජාලය හරහා බලශක්ති කාර්යක්ෂමතාව, ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික ඉංජිනේරු දැනුම මෙන්ම සූර්ය, සුළං, ජල විදුලි සහ ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විෂය දැනුම හා ප්‍රායෝගික පුහුණු ලබා දීම මඟින් දක්ෂ වෘත්තීය තාක්ෂණ ශිල්පීන් බිහි කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, රුපියල් මිලියන 398ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ දේශීය අරමුදල් යොදා ගනිමින් එකී පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
04.සේනානායක සමුද්‍රයේ සොරොව් කුලුන, සොරොව් බැරලය හා අවශේෂී කොටස් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය
සේනානායක සමුද්‍රයේ සොරොව් කුලුන නැවත ඉදි කිරීම හා සොරොව් බැරලය නැවත ඉදි කිරිම හෝ අලුත්වැඩියා කටයුතු සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගෙන ඉදිකිරිම් කටයුතු සිදු කිරීම සඳහා සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම පිණිස 2025-09-03 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඉන් අනතුරුව, එම ප්‍රතිසංස්කරණ කාර්යයේ සංකීර්ණතාව සහ අදාළ පිරිවිතර සකස් කිරීම පිණිස අවශ්‍ය කරනු ලබන විශේෂ තාක්ෂණික නිපුණතා සැලකිල්ලට ගනිමින් එම ප්‍රසම්පාදනය අදියර 02ක් යටතේ සිදු කිරීමේ යෝග්‍ය බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය පහත සඳහන් පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
අදියර 01 - සොරොව් කුලුන, සොරොව් බැරලය සහ අවශේෂ කොටස් ප්‍රතිසංස්කරණය හෝ නැවත ඉදි කිරීම සඳහා අදාළ සංකල්පීය සැලැස්ම සහ ලංසු කැඳවීම සඳහා වන ප්‍රසම්පාදන ලේඛන පිළියෙල කිරීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ක්‍රමවේදය අනුගමනය කරමින් ගුණාත්මකභාවය මත පදනම් වූ තෝරා ගැනීමේ ක්‍රමවේදය (Quality Based Selection) යටතේ සුදුසු උපදේශන ආයතනයක් තෝරා ගැනීම.
අදියර 02 - අදියර 01 යටතේ තෝරා ගනු ලබන උපදේශන ආයතනය විසින් සකස් කරනු ලබන සංකල්පීය සැලසුම් සහ අදාළ ප්‍රසම්පාදන ලේඛන මත පදනම්ව, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ඉදිකිරීම් කටයුතු සඳහා සුදුසු කොන්ත්‍රාත් ආයතනයක් තෝරා ගැනීම.
05. නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා සුවපහසු පත්ල පහත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම
මහජන ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සුවපහසු පත්ල පහත් බස් රථ 100ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය යටතේ අදාළ සැපයුම්කරු විසින් එම බස්රථ මේ වන විට මෙරටට ආනයනය කරනු ලැබ ඇත. මගී ඉල්ලුම ඉහළ මට්ටමක පැවතීම, ප්‍රධාන කලාපීය ප්‍රවාහන හා සංචාරක මධ්‍යස්ථාන ලෙස උපායමාර්ගික වැදගත්කම සහ කොළඹ මහ නගර කලාපයෙන් ඔබ්බට නවීන මහජන ප්‍රවාහන සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ රජයේ අරමුණු සැලකිල්ලට ගනිමින් මෙට්‍රො බස්රථ ව්‍යාපෘතියේ පළමු අදියර මහනුවර, ගාල්ල සහ යාපනය නගරවල ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ. ඒ සඳහා මෙට්‍රො බස් රථ ඇණියේ බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, 2026-03-06 දින බස් රථ 100ක් මිල දී ගැනීම පිණිස පිරිනමන ලද කොන්ත්‍රාත්තුව යටතේම, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් 50%ක නැවත ඇණවුමක් ලෙස තවත් සුවපහසු පත්ල පහත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
06. 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හානි වූ සහ ආපදාවට ලක් වී ඇති ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්රයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්රයේ යටිතල පහසුකම්, ජලජීවී වගා පහසුකම්, ධීවර වරායන් සහ අනෙකුත් වත්කම්වලට සැලකිය යුතු හානි සිදු වී තිබේ. එම හානි සම්බන්ධව සිදු කළ තාක්ෂණික ඇගයීම් අනුව, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ලංකා ධීවර සංස්ථාව සහ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව යන ආයතන යටතට පැවරී ඇති ධීවර කර්මාන්තයට සම්බන්ධිත විෂයපථය තුළ සමස්ත වශයෙන් සිදු වූ හානිය රුපියල් මිලියන 9,496.59ක් බව ඇස්තමේන්තුකර ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සහ සේවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා එම ආයතන මඟින් රුපියල් මිලියන 8,322.96ක වටිනාකමින් යුතු ව්‍යාපෘති 18ක් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, පහත පරිදි එකී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 7,005.69ක මුළු පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ ව්‍යාපෘති 10ක් ක්‍රියාත්මක කිරීම.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 1,292.06ක මුළු පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කිරීම.
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් රුපියල් මිලියන 25.21ක මුළු පිරිවැය ඇස්තමේන්තුවක් යටතේ එක් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම.
07. 'ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන' වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ඉංජිනේරු උපදේශක ආයතනයක් පත් කිරීම
සෞඛ්‍ය සේවා අවශ්‍යතා මත පදනම්ව, පවතින ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන වැඩිදියුණු කිරීම සහ අඩුපහසුකම් සහිත ප්‍රදේශවල නව සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදි කිරීම සඳහා වන 'ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන' වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2026-06-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම වැඩසටහන අදියර වශයෙන් ක්‍රියාත්මක කරන බැවින්, රට පුරා ක්‍රියාත්මක කුඩා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති රාශියකින් එය සමන්විත වේ. එකී වැඩසටහන සැලසුම් කිරීම, ඇස්තමේන්තු සකස් කිරීම සහ ලංසු ලේඛන පිළියෙල කිරීම, ප්‍රසම්පාදන සහාය, කොන්ත්‍රාත් පරිපාලනය, ඉදිකිරීම් අධීක්ෂණය, ගෙවීම් සහතික කිරීම, තත්ත්ව සහතික කිරීම සහ දෝෂ වගකීම් කාල සේවාවන් සඳහා අඛණ්ඩව ඉංජිනේරු උපදේශන සේවාවන් අවශ්‍ය වේ. ඒ අනුව, ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන වැඩසටහනේ ඉංජිනේරු උපදේශන සේවා ආයතනය වශයෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
08. 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහාමාර්ග) නියෝගය සංශෝධනය කිරීම
දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමටත්, තුවාල සිදු වීමෙන් ඇතිවන බරපතල තත්ත්වයන් අවම කර ගැනීමටත් හැකි වන පරිදි අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන්ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම පිණිස, මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ නියෝග නිකුත් කර ඇත. අදාළ වාහන නිෂ්පාදකයින් විසින් ආසන පටි සවි කර නොමැති වාහන සඳහා ආසන පටි විධිමත් පරිදි සවි කිරීමට හැකි වන පරිදි ලබා දී ඇති සහන කාලසීමාව 2026-06-19 දිනෙන් අවසන් වී තිබේ. එකී සහන කාලය තවදුරටත් 2026-09-19 දින දක්වා මාස 03කින් දීර්ඝ කරන ලෙස අදාළ පාර්ශ්වයන් විසින් සිදු කරනු ලැබ ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන, අංක 2493/19 දරන 2026-06-17 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහාමාර්ග) නියෝගය සංශෝධනය කරනු ලැබ ඇත. එකී සංශෝධිත නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
09. 2026 අංක 03 දරන මෝටර් වාහන (පරීක්ෂා කිරීමේ) නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
මෙරට මෑතකදී සිදුවූ ආන්දෝලාත්මක බරපතල ගනයේ රිය අනතුරු බොහොමයක් සම්බන්ධයෙන් මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් සිදු කරන ලද විමර්ශනවලදී වාහනවල ධාවන තත්ත්වයේ පවතින කාර්මික දුර්වලතා එම අනතුරුවලට හේතුවී ඇති බව අනාවරණ වී ඇත. එබැවින්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලයීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකාවල යෙදෙන වාහනවල ධාවන යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ සඳහා නෛතික ප්‍රතිපාදන හඳුන්වා දෙමින්, (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන අනුව 2026 අංක 03 දරන මෝටර් වාහන (පරීක්ෂා කිරීමේ) නියෝග, අංක 2489/22 දරන 2026-05-19 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
10. 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම
විශ්‍රාම වැටුපකට හිමිකමක් නොමැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සේවකයන්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම සඳහා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත හඳුන්වා දී ඇත. ඒ අනුව, එකී පනත සම්බන්ධයෙන් වන සාමාන්‍ය පරිපාලන කටයුතු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අරමුදලේ භාරකරු ලෙස කටයුතු කරනු ලැබේ. කාලීනව පනතේ ඇතැම් ප්‍රතිපාදන වරින්වර සංශෝධනය කරනු ලැබුවද වර්තමාන සමාජ, ආර්ථික සහ තාක්ෂණික වෙනස්වීම්වලට අනුරූපව එම අරමුදලේ සාමාජිකයින් මුහුණ දෙන දුෂ්කරතා අවම කරගනිමින් ගුණාත්මක සහ කාර්යක්ෂම සේවයක් සැලසීම සඳහා තවදුරටත් එකී පනත සංශෝධනය කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ද සැලකිල්ලට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් මූලික කෙටුම්පතක් සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී මූලික කෙටුම්පත පදනම් කරගනිමින් සේවක අර්ධසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
11. ළමා අයිතිවාසිකම් පනත කෙටුම්පත් කිරීම
ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය තහවුරු කිරීම සඳහා දැනට පවතින නෛතික ප්‍රතිපාදනවලට අමතරව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියෙහි සඳහන් සියලු අයිතීන් සුරක්ෂිතවන අයුරින් පනතක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, 'ළමා අයිතිවාසිකම් පිළිබඳ සංයුක්ත පනත' නමින් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2024-02-19 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කිරීමේ කාර්යය ආරම්භ කර ඇති අතර, අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය අවශ්‍ය බවට නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනුම් දී ඇත. එමෙන්ම, දැනට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති පනතේ නාමය 'ළමා අයිතිවාසිකම් පිළිබඳ සංයුක්ත පනත' යන්න වෙනුවට 'ළමා අයිතිවාසිකම් පනත' ලෙස සංශෝධනය කිරීම යෝග්‍ය බවට නිරීක්ෂණය කරනු ලැබ තිබේ. එසේම, යෝජිත පනතට ඇතුළත් කිරීමට තවදුරටත් හඳුනා ගනු ලැබ ඇති කරුණු ඇතුළත්ව සංකල්ප පත්‍රිකාවක් ද සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී සංකල්ප පත්‍රිකාව මත පදනම්ව, ළමා අයිතිවාසිකම් පනත කෙටුම්පත් කිරීමේ කාර්යය කඩිනමින් අවසන් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
12. ආසියානු සංවර්ධන බැංකුව මඟින් ප්‍රතිපත්ති පාදක ණය ලබා ගැනීම
ආසියානු සංවර්ධන බැංකුවේ නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස 2026-06-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, එම ණය මුදල ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනේ උපවැඩසටහන 1ට අදාළ ණය සාකච්ඡා සාර්ථකව අවසන් කර ඇත. එකී ණය මුදල ලබා ගැනීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිෂ්කාශනයන් ලැබී තිබේ. ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නියමයන් හා කොන්දේසිවලට යටත්ව, ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
13. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව මඟින් අරමුදල් සපයනු ලබන කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය ප්‍රතිඅරමුණුගත (Repurpose) කිරීම
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දැඩි වර්ෂාපතනය නිසා ජීවිත අහිමි වීම්, අවතැන් වීම්, ජීවනෝපායන් විනාශ වීම් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික වත්කම්වලට විශාල වශයෙන් හානි සිදු විය. ඒ හේතුව මත, ජාතික ප්‍රතිසාධනය සහ ප්‍රතිසංස්කරණය ඉහළම ප්‍රමුඛතා ලෙස මතු වී තිබේ. ඒ අනුව, පවතින තීරණාත්මක ආර්ථික හා සමාජ යටිතල පහසුකම් පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණයට සහාය වීම සඳහා පවතින මූල්‍ය පහසුකම් ප්‍රතිඅරමුණුගත කිරීමට සහ ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා රජයේ සංවර්ධන හවුල්කරුවන්ගේ එකඟතාව ලැබී ඇත. ඒ යටතේ, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය ප්‍රතිඅරමුණුගත කරමින්, එම ව්‍යාපෘතිය සඳහා 'හදිසි නිවාස ප්‍රතිසංස්කරණ සංරචකය' ලෙස නව සංරචකයක් නිර්මාණය කර, 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10.1ක අරමුදල් සලසා ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
14. බන්ධනාගාර තදබදයට විකල්පයක් ලෙස නිවාස අඩස්සියේ රඳවා තැබීම
රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට/බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස සුදුසු නඩු කටයුතුවලදී සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා විධිවිධාන හඳුන්වා දීම පිණිස එවකට අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති ප්‍රතිපත්තිමය අනුමැතිය මත පනත් කෙටුම්පතක් සකස් කිරීමේ ක්‍රියාවලිය නීති කෙටුම්පත් සම්පාදක විසින් ආරම්භ කර ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත තවදුරටත් සමාලෝචනය කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා 2025-06-23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති එම පනත් කෙටුම්පතට තවදුරටත් ඇතුළත් කළ යුතු විධිවිධාන හඳුනාගනු ලැබ ඇති අතර, එකී විධිවිධාන ඇතුළත් කරමින් අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
15. අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම
අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සහ එක්රැස් වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීම පිණිස 2026-07-27 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දෙන ලදී. එකී අනුමැතිය ප්‍රකාරව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපති විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ නිෂ්කාශනය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති එකී සංශෝධන පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
