හරක් කටා ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක් වෙත...

හරක් කටා සුදුසු බන්ධනාගාරයකට යොමු කරන්නැයි අධිකරණයෙන් නියෝග..

by Staff writer 03-08-2026 | 3:07 PM

COLOMBO(News1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ''හරක් කටා" ආරක්ෂිත සුදුසු බන්ධනාගාරයක් වෙත මාරු කිරීමට පියවර ගැන්නැයි, කොළඹ මහාධිකරණය අද(03) නියෝග කළේ ය.

ඒ, නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින්, හරක් කටා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව නඩුව පවරා තිබේ.

පසුගිය ජූලි 30 වැනිදා විනිසුරුවරයා නියෝග කළේ, විත්තිකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවයි.

චෝදනා ගොනුකළ හැක්කේ, දණ්ඩ නීතී සංග්‍රය යටතේ බවට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.

එදින නියෝගය ලබා දෙමින් මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ, විත්තිකරුවන්ට සංශෝධිත අධි චෝදනා ගොනු කරන්නේ නම් නීතිපතිවරයාට දැනුම් දෙන ලෙසයි.

ඒ අනුව අද නඩුව කැඳ වූ අවස්තාවේ ඉකුත් දා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේය.

කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගය ලබන 20 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට දින නියම කළේ ය.

විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා අධිකරණ නියෝග ප්‍රකාරව මේ වනවිට ඉවත් කර තිබෙන බැවින් රැඳවුම් භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ සිටින 'නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' සුදුසු ආරක්ෂාව ඇතිව සුදුසු බන්ධනාගාරයක් වෙත මාරු කිරීමට පියවර ගන්නා ලෙසට විනිසුරුවරයා නියම කළේ ය.