පුද්ගල ඝාතනයකට වරදකරුවූ 5 දෙනෙකුට මරණ දඬුවම...

පුද්ගලයෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතල තුවාල කිරීමේ සිද්ධියකට වැරදිකරුවන් වූ 5 දෙනෙකුට ගම්පහ මහාධිකරණයෙන් මරණ දඬුවම...

by Staff writer 18-07-2026 | 8:38 AM

COLOMBO (News 1st) - අත්තනගල්ල ප්‍රදේශයේ නිවසකට කඩාවැදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කර, තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට වරදකරුවන් වූ එකම පවුලේ මව, පියා, පුතුන් දෙදෙනා ඇතුළු පස්දෙනකුට ගම්පහ මහාධිකරණය ඊයේ (17) මරණ දඬුවම නියම කළේ ය.

එම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ, ගම්පහ පූර්වගාමී විනිසුරු රශ්මි සිංගප්පුලි විසිනි.

එලෙස මරණ දඬුවම නියම වූයේ අත්තනගල්ල, වෙළගෙදර පදිංචිකරුවන් පස් දෙනෙකුටයි.

2001 ඔක්තෝබර් මස 31 වැනිදා රාත්‍රී  නිට්ටඹුව, දියකාවිට, වෙළගෙදර ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදී, එහි සිටි පිරිසට ගල් හා පොලුවලින් පහරදී , කඩුවලින් කොටා තරුණයෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම ඔවුන්ට එරෙහි චෝදනා වේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින් විනිසුරුවරයා විසින් එලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවේ ය.

මේ අතර ඇල්පිටියේදී 2011 වසරේදී පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් වූ දෙදෙනකුට බලපිටිය මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවේ ය.

එලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවේ, වහුම්පුරගේ තිලක් පුෂ්ප කුමාර හා වීරතුංග චමින්ද යන දෙදෙනාටයි.

වසර 15ක් පමණ දීර්ඝ කාලයක් පුරා පැවති එම නඩු විභාගයේ තීන්දුව මහාධිකරණ  විනිසුරු රුචිර වැලිවත්ත විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.