මුතුරාජවෙල තවත් තෙල් ටැංකි 7ක් ඉදිකිරීමට පියවර...

මුතුරාජවෙල ප්‍රදේශයේ තවත් තෙල් ටැංකි 7ක් ඉදිකිරීමට පියවර...

by Staff writer 17-07-2026 | 10:17 AM

COLOMBO (News 1st) - මුතුරාජවෙල ප්‍රදේශයේ තවත් තෙල් ටැංකි 7ක් ඉදිකිරීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

එහි සභාපති ජනක රාජකරුණා පැවසුවේ, ඉන් ටැංකි 4 ක් ගුවන්යානා ඉන්ධන ගබඩා කිරිමට ඉදිකරන බවයි.

ඛනිජ තෙල් බෙදා හැරීමේ සහ ගබඩාකිරීමේ යටිතල පහසුකම් පුළුල් කිරිමේ ව්‍යාපෘතිය යටතේ එම තෙල් ටැංකි ඉදි කිරීමට නියමිතයි.

මීට අමතරව  මුතුරාජවෙල සිට කටුනායක දක්වා ඉන්ධන ප්‍රවාහනයට කිලෝ මීටර් 21ක  දිගින් යුත් නළ මාර්ගයක් ද  ඉදිකරන බව සභාපති ජනක රාජකරුණා පැවසුවා

සභාපතිවරයා ප්‍රකාශ කළේ කොළඹ වරාය පරිශ්‍රයේ සිට කොලොන්නාව දක්වා තෙල් රැගෙන යන නවීන නල මාර්ගයක්ද ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

ඉරාන ඇමරිකා අවබෝධතා ගිවිසුම හමුවේ පහළ බැස තිබූ ඉන්ධන මිල ගැටුම් යළි ආරම්භ වීම හේතුවෙන් මේ වන විට ඉහළ ගොස් තිබේ.

අද උදෑසන වන විට බ්‍රේන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 84 යි ශත 85 ක් ලෙසයි.

ඇමරිකානු WTI වෙළෙඳපොළේ  බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 79 යි ශත 52 යි.

මේ අතර මැදපෙරදිග පවතින යුධ තත්ත්වය හමුවේ මෙරටට ඛනිජ තෙල් රැගෙන ඒමට කිසිදු බාධාවක් නොමැති බව ද සභාපතිවරයා පැවසුවේය.