මීගමුවේ කාන්තා රැඳවියන් 73ක් වෙනත් බන්ධනාගර වෙත

මීගමුව බන්ධනගාරයේ කාන්තා රැඳවියන් 73 දෙනෙකු වෙනත් බන්ධනාගර වෙත මාරු කෙරේ.

by Staff writer 09-07-2026 | 7:00 AM

COLOMBO(News1st) - මීගමුව බන්ධනගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් 73 දෙනෙකු පල්ලෙකැලේ සහ වාරියපොළ බන්ධනගාර වෙත ඊයේ(09) රාත්‍රීයේ මාරුකර යවා තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පැවසුවේ, රැඳවියන් 33 දෙනෙකු වාරියපොළට හා තවත් රැදවියන් 40 දෙනෙකු පල්ලෙකැලේ බන්ධනාගාරයට මාරු කර යවා ඇති බවයි.

ඒ අතරට විදේශ ජාතික කාන්තාවන් 28 දෙනෙකුද ඇතුළත්.

පසුගිය 5 වැනිදා සහ 6 වැනිදා මීගමුව බන්ධනගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ කණ්ඩායම් 02ක් අතර ඇති වූ ගැටුමෙන් සිදු වූ ඇති හානිය හේතුවෙන් එම මාරු කිරීම සිදු කර ඇතැයි බන්ධනගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර මීගමුව බන්ධනගාරයේ ඇති වූ සිද්ධියෙන් අනතුරුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට වි‍ශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ බලතල අනුවයි.

සියලුම බන්ධනාගාර වෙත මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට බාධාවකින් තොරව ඇතුළු වීමට ඉඩකඩ ලබා දෙන ලෙසත්, රැඳවියන් ආරක්ෂා කරන ලෙසත් කොමසාරිස් ජනරාල්වරයාට නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන්.

එමෙන්ම, සිදුවීම්වලට අදාළ සියලුම සාක්ෂි සුරක්ෂිත කිරීමටත්, එල්ල වී ඇති චෝදනා පිළිබඳව කඩිනම් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත් බන්ධනාගාර බලධාරීන්ට මානව හිමිකම් කොමිසම දැනුම් දී ඇතැයි සඳහන්.

මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් අවධාරණය කළේ, එම පරීක්ෂණ කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දීම අනිවාර්ය බවත්, රැඳවියන් හට යම් අසාධාරණයක් සිදු නොවීමට වග බලා ගන්නා ලෙසයි.