.webp)

- මෙරට දෛනික මගී ප්‍රවාහන අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වන ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යය බස් රථ ප්‍රවාහනය වන අතර, එකී සේවාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ස්වාධීන පෞද්ගලික බස් රථ ක්‍රියාකරුවන් විශාල සංඛ්‍යාවක් විසින් ක්‍රියාත්මක කරනු ලබයි. පොදු මගී ප්‍රවාහන සේවා සැපයීමේදී කලක් තිස්සේ ක්‍රියාත්මක වන එම මෙහෙයුම් ක්‍රමවේදය හේතුවෙන් අධික තරගකාරිත්වය, නියමිත කාලසටහන් පිළිපැදීමේ දුර්වලතාව, මාර්ගවල අධික බස් රථ ප්‍රමාණයක් ක්‍රියාත්මක වීම, බස් රථ ධාවනයේ අනාරක්ෂිත හැසිරීම්, මගීන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා, රථ වාහන තදබදය, සේවා අසමතුලිතතාවය සහ සම්පත් අකාර්යක්ෂම ලෙස භාවිත කිරීම වැනි ගැටලු රැසක් පැන නැගී ඇත. එවැනි ගැටලු සඳහා සාර්ථක විසඳුමක් වශයෙන් ලෝකයේ බොහෝ රටවල 'බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණය' (Bus Sector Clustering) හඳුන්වා දී එකම ප්‍රවාහන කොරිඩෝවක හෝ භූගෝලීය ප්‍රදේශයක ක්‍රියාත්මක වන බස් රථ සේවාවන් ඒකාබද්ධ කළමනාකරණයක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. එකිනෙකට සම්බන්ධ මාර්ගවල ධාවනය වන බස් රථ සේවාවන් තනි තනි මෙහෙයුම් ඒකක ලෙස නොව, ඒකාබද්ධ හා සම්බන්ධීකරණය කරන ලද සේවා පොකුරක් ලෙස කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් වන බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණය ශ්‍රී ලංකාවට ද හඳුන්වා දීම මඟින් ඵලදායි මගී ප්‍රවාහන සේවාවක් සැලසීමට මෙන්ම, වර්තමානයේ බස් රථ ක්ෂේත්රය තුළ පවතින බොහෝ මෙහෙයුම් හා සාමාජීය ගැටලු අවම කර ගැනීමට හැකියාවක් පවතින බව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන, ප්‍රථම කොට, බස් මාර්ග අංක 170, 177 සහ 190 ආවරණය වන බස් රථ කොරිඩෝවන්හි ක්ෂේත්‍ර පොකුරුකරණයට අදාළ නියමු වැඩසටහනක් අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කිරීමටත්, එහි ප්‍රතිඵල මත එම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම ඔක්තෝබර් මාසයේ ප්‍රථම සඳුදා දිනය ලෝක ජනාවාස දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. නිවාස හා ජනාවාස සංවර්ධනය සම්බන්ධ ගැටලු, විකල්ප විසඳුම් හා නව ප්රවණතා පිළිබඳව සියලු පාර්ශ්වකරුවන්ගේ අවධානය යොමු කරවීමත්, ජාතික මට්ටමේ සංවාදයක් ගොඩනැගීම තුළින් ඒ පිළිබඳව සියලු පාර්ශ්වකරුවන් දැනුම්වත් කිරීම හා එකී ප්රයත්නයන්ගේ ප්රතිලාභ කඩිනමින් සියලු ජනතාව වෙත ළඟා කර දීමත් අරමුණු කර ගනිමින් ලෝක ජනාවාස දිනය සමරනු ලැබේ. 2026 ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් මස 05 දිනට යෙදී ඇති අතර, එහි තේමාව 'Adequate Housing for all' ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ලෝක ජනාවාස දිනය ලොව පුරා ක්‍රියාවට නංවන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිතායතනය වශයෙන් නිවාස විෂය භාර අමාත්‍යාංශය විසින් අදාළ අමාත්‍යාංශ හා සියලුම ආයතනවල දායකත්වය ලබා ගනිමින් මෙවර ද ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, අදාළ අමාත්‍යාංශ සහ ආයතන සමඟ ඒකාබද්ධව 2026 ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රාජාංගනය වාරිමාර්ග යෝජනා ක්රමයේ දකුණු ඉවුර ඇලේ කිලෝමීටර 3+685 යන ස්ථානයේ අංගමුව වාන් ඇල හරහා අහස් ජල පැන්නුම් නිර්මිතය (Aqueduct) 1966 වර්ෂයේදී රාජාංගනය ජලාශයේ සිට පුත්තලම, අනුරාධපුර මාර්ගයේ පිහිටි රාජාංගනය හංදිය සම්බන්ධ කරන මාර්ගය සමඟ ඒකාබද්ධව ඉදි කර තිබේ. එකී නිර්මිතය ඉදිකර මේ වන විට වසර 60ක් පමණ ඉකුත්ව ගොස් ඇති බැවින් හා වර්තමානයේදී රාජාංගනය ජලාශයේ සිට රාජාංගනය හංදිය දක්වා ගමන් කරන වාහන ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් දැනට පවතින ඒකාබද්ධ මාර්ග සහ අහස් ජල පැන්නුම් නිර්මිතය දැඩි ලෙස අබලන් තත්ත්වයකට පත් වී ඇත. එම තත්ත්වය යටතේ වර්තමාන වාහන ගමනාගමන අවශ්‍යතා සපුරාලීම සඳහා අංගමුව වාන් ඇල හරහා වෙනම නව පාලමක් ඉදි කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය එකඟතාව පළ කර ඇති අතර, අහස් ජල පැන්නුම් නිර්මිතය අලුත්වැඩියා කිරීමට හැකියාවක් පවතී ද, එසේ නොමැති නම් එම නිර්මිතය නැවත ඉදි කළ යුතු ද යන්න පිළිබඳව තීරණයකට එළඹීම සඳහා කඩිනමින් සවිස්තරාත්මක ව්‍යුහාත්මක විශ්ලේෂණයක් සිදු කළ යුතුව තිබේ. ඒ අනුව, එම විශ්ලේෂණය සිදු කිරීම සඳහා වන උපදේශන සේවා කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත ලබා දීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
'ශ්‍රී ලංකා එක්ස්පෝ 2027' ජාත්‍යන්තර ප්‍රදර්ශනය , 2027-01-14 දින සිට 2027-01-17 දින දක්වා පැවැත්වීම සඳහා 2026-04-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. එකී ප්‍රදර්ශනයේ ඉසව් කළමනාකරණ කටයුතු සඳහා ආයතනයක් තෝරා ගැනීම පිණිස මිල ගණන් කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 03ක් ලැබී ඇත. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වශයෙන් Lanka Exhibition & Conference Services (Pvt) Limited (LECS) සහ Aitken Spence Travels (Pvt) Ltd (ASTL) අතර හවුල්කාරිත්වය වෙත රුපියල් මිලියන 178.71ක මුදලකට (එකතු කළ අගය මත බදු ඇතුළුව) පිරිනැමීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම සහ ධීවර යාත්‍රා යොදා ගෙන කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම් සහ නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු අනෙකුත් නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම, ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ධීවර කර්මාන්තයේ යෙදෙන රටවල් මුහුණ දෙන බරපතල ගැටලුවකි. එම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා දේශීය වශයෙන් ද, කලාපීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ද විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබ ඇත. කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර ටූනා කොමිසමේ සාමාජිකයෙකු වන අතර, එම කොමිසමේ නිතිරීති අනුව ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ නිරත සෑම ධීවර යාත්‍රාවක්ම යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය මඟින් අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතු වේ. දැනට ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ලියාපදිංචි බහුදින ධීවර යාත්‍රා 5,200ක් අතරින් බහුදින ධීවර යාත්‍රා 4,200ක් සඳහා ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු නිරීක්ෂණ පද්ධති උපාංග සවි කරනු ලැබ ඇත. 2021-01-01 දිනෙන් පසුව අලුතින් ලියාපදිංචි කරනු ලබන සෑම බහුදින ධීවර යාත්‍රාවක් සඳහාම යාත්‍රා නිරීක්ෂණ පද්ධති සවි කිරීම අනිවාර්ය බැවින්, එදින සිට ලියාපදිංචි කරනු ලබන යාත්‍රා සඳහා යාත්‍රා හිමියන් විසින් යාත්‍රා නිරීක්ෂණ පද්ධති උපකරණ මිල දී ගෙන සවි කර ගැනීම සිදු කරනු ලබයි. 2021-01-01 දිනට පෙර බහුදින ධීවර යාත්‍රා වශයෙන් ලියාපදිංචිව දේශීය මුහුදේ මෙන්ම ඇතැම් අවස්ථාවලදී ජාත්‍යන්තර මුහුදේ ද රැකියාවේ නිරත යාත්‍රා නිරීක්ෂණ පද්ධති නොමැති බහුදින ධීවර යාත්‍රා සහ එක් දින ධීවර යාත්‍රා 1,500ක් පමණ තිබේ. ඒ අතරින්, අඩි 34ට වඩා දිගින් යුත් යාත්‍රා 400ක් ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු හෝ වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමට හැකියාව පවතී. ඊට අමතරව පවතින යාත්‍රා 1,100 ඒවායේ එන්ජින් ධාරිතාව හා ඉන්ධන ධාරිතාව අනුව ඉතා දිගු කලක් මුහුදේ ගත කිරීම සඳහා ප්‍රමාණවත් තාක්ෂණික යෝග්‍යතාවක් නොමැති යාත්‍රා වේ. ඒ අනුව, එම යාත්‍රා 1,500 සඳහා ද යෝග්‍ය නිරීක්ෂණ පද්ධති සවි කිරීම අනිවාර්ය කිරීමටත්, ඒ සඳහා වන වියදම රජය විසින් දැරීමටත් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2023-03-03 සහ 2023-05-16 අතර කාලය තුළදී ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් දියරමය අක්ෂි ඖෂධය භාවිත කිරීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් සඳහා භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ ඇස් පෙනීම අහිමි වීම හෝ තවදුරටත් දුර්වල වීමේ සිදුවීම් වාර්තා වී තිබිණ. ඒ පිළිබඳව පැවති විමර්ශනයක ප්‍රතිඵල මත පදනම්ව, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙහිදී අක්ෂි ශල්‍යකර්මයන්ට බඳුන් වීමෙන් පසු දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17දෙනෙකු සඳහා මේ වන විට වන්දි ලබා දී තිබේ. ඊට අමතරව අදාළ කාලය තුළදීම නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල හැර අනෙකුත් රෝහල්වල අක්ෂි සැත්කම්වලට භාජනය වීමේදී ප්රෙඩිනිසිලෝන් ඇසිටේට් දියරමය අක්ෂි ඖෂධය භාවිත කිරීම හේතුවෙන් අක්ෂි ආබාධයන්ට ලක් වී ඇති රෝගීන් සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම පිණිස පත් කරන ලද විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් අන්ධභාවයට පත් තවත් රෝගීන් 04දෙනෙකු සඳහා ද වන්දි ගෙවීම නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන, එකී රෝගීන් 04දෙනා සඳහා ද, එක් රෝගියෙකුට රුපියල් මිලියනයක් බැගින් වන සේ වන්දි ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතිය, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතන සමඟ අත්සන් කරන ලද ණය ගිවිසුමක් යටතේ 2010 වර්ෂයේ සිට පැකේජ 04කින් යුතුව ක්‍රියාත්මක කර තිබේ. එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව 2025-01-01 දින සිට 2027-08-31 දින දක්වා දීර්ඝ කිරීම පිණිස 2026-01-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ විෂය පථයට පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය ද ඇතුළත් කරන ලෙස එහි උපකුලපති විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් පරිදි සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයක ප්‍රතිඵල අනුව එම විශ්වවිද්‍යාලය ද ව්‍යාපෘතියේ විෂය පථයට ඇතුළත් කර ගැනීමට හැකියාව පවතින බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ විෂය පථය යටතට පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළත් කර ගැනීමටත්, ඒ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය වන රුපියල් මිලියන 2,000 අතරින් රුපියල් මිලියන 800ක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ණය මුදලින් සහ ඉතිරි රුපියල් මිලියන 1,200ක මුදල දේශීය අරමුදල්වලින් සලසා ගැනීමටත්, ව්‍යාපෘතියේ කාලසීමාව 2027-12-31 දින දක්වා තවදුරටත් දීර්ඝ කිරීමටත් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් අබලි ලෝහ නිෂ්පාදන, විවිධ ලෝහ අනුරූ සහ ලෝහ අබලි නීතිවිරෝධී ලෙස අපනයනය වැළැක්වීම සඳහා එවැනි භාණ්ඩවලට අපනයන පාලන බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කිරීම පිණිස 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම තීරණය බලාත්මක කිරීම සඳහා 2026 අංක 05 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි, අංක 2493/03 දරන 2026-06-15 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
එමෙන්ම, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා අනුමත ගෙවීම් ක්‍රමයක් වන, පෙරගෙවීම් ක්‍රමය යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ, ගෙවීම් ප්‍රේෂණය කරන ලද දින සිට අදාළ රෙගුලාසි මඟින් නියම කර ඇති පරිදි දින 180, 365 හෝ 730ක නියමිත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට ගෙන එන බවට තහවුරු කර ගැනීම සඳහා නව විධිවිධාන හඳුන්වා දීමට හැකි වන පරිදි 2012-01-02 දිනැති 2011 අංක 1 දරන විශේෂ ආනයන බලපත්‍ර සහ ගෙවීම් ක්‍රම රෙගුලාසි සංශෝධනය කරමින්, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන යටතේ 2026 අංක 06 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි 2026-06-18 දිනැති අංක 2493/39 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
ඒ අනුව, එකී ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
දැනට පුරප්පාඩු වී පවතින පරිවාස කොමසාරිස් තනතුර සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අධ්යක්ෂ (සංවර්ධන) ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි යූ.එල්.මතීෂා ජිනන්ජලී ජයතිලක මහත්මිය සුදුසු බවට හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි යූ.එල්.මතීෂා ජිනන්ජලී ජයතිලක මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා 2026-02-09 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ. එම සංශෝධන පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් පවරා තිබූ නඩු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීරණ සහ හඳුනා ගන්නා ලද අත්‍යවශ්‍ය සංශෝධන කිහිපයක් ඇතුළත් කරමින් එකී පනත් සම්බන්ධයෙන් වන කාරක සභා අවස්ථාවේදී හඳුන්වා දීමට යෝජිත සංශෝධන නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇත. එකී නව සංශෝධන සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එම සංශෝධන එකී පනත් කෙටුම්පත්වලට අදාළ පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
