එල්ලවන චෝදනාවලට කතෝලික රදගුරු සම්මේලනයෙන් පිළිතුරු

කාදිනල් හිමිපාණන් ධුර කාලය දීර්ඝ කර ගැනීමට පාස්කු ප්‍රහාරය ප්‍රයෝජනයට ගන්නේ නෑ....- ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය

by Staff writer 02-07-2026 | 10:40 PM

COLOMBO (News 1st) - කාදිනල් හිමිපාණන් සිය ධුර කාලය දිගු කර ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය ප්‍රයෝජනයට ගන්නා බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය දැඩි ලෙස හෙළා දැක තිබේ.

ඒ නිවේදනයක් නිකුත් කරමිනි.

කතෝලික ශාසන නීතිය පිළිබඳව ජනතාව නොමග යැවීමට දරන පිළිකුල් සහගත උත්සාහයන් සම්බනධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සිය අප්‍රසාදය පළ කර ඇත.

එම නිවේදනයෙන් අවධාරණය කරන්නේ කතෝලික සභාවේ නීතියට අනුව ඕනෑම රදගුරුතුමෙකු වයස අවුරුදු 75 සම්පූර්ණ වූ පසු ශුද්ධෝත්තම පියතුමා වෙත විශ්‍රාම ගැනීමේ ලිපිය භාර දිය යුතු බවයි.

විශ්‍රාම ගැනීම නිල වශයෙන් ක්‍රියාත්මක වන දිනය හෝ ධුර කාලය දිගු කිරීම තීරණය කිරීමේ පරම බලය පවතින්නේ අති උතුම් ශුද්ධෝත්තම පියතුමාට පමණක් බවද එහි දැක්වේ.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 75 විය සැපිරූ වහාම ශුද්ධෝත්තම පියතුමා වෙත විශ්‍රාම ගැන්වීමේ ලිපිය යොමු කර ඇති බවත් ඒ සඳහා ශුද්ධෝත්තම පියතුමාගේ අනුමතිය ලැබෙන තුරු සිය ධුරයේ වගකීම් ඉටු කිරීමට උන්වහන්සේ ශාසනිකව බැඳී සිටින බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.