භෞත චිකිත්සකවරියගේ මරණයේ ප්‍රධානසැකකරු අද අධිකරණයට

භෞත චිකිත්සකවරියගේ මරණයේ ප්‍රධාන සැකකරු හා බිරිඳ අද අධිකරණය හමුවට...

by Staff writer 25-06-2026 | 7:47 AM

COLOMBO (News 1st) - තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හා ඔහුගේ බිරිඳ අද (25) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

පොලීසිය පැවසුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් රඳවා ගැනීම් නියෝගයක් ලබා ගෙන වැඩිදුර ප්‍රශ්න කිරිමේ කටයුතු සිදුකරන බවයි.

අදාළ සැකකරු සහ ඔහුගේ බිරිද ඊයේ (24) කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් තිබූ බස් රථයක් තුළදී අත්අඩංගුවට ගැණින.

ඒ නුවරඑළිය පොලිසිය, වලාන දූෂණ මර්දන ඒකකය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකිනි.

අත්අඩංගුවට පත් 43 හැවිරිදි සැකකරු හා 35 හැවිරිදි සැකකාරිය පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් ඉන්දියාවට පලා යාම සඳහා සූදානමින් සිට ඇතැයි, පොලීසිය සැක පළ කරයි.

මේ අතර එම සිද්ධියට සහාය දැක්වූ බව කියන කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරකුද  ඊයේ අත්අඩංගුවට ගත්තේ ය.

පොලිසිය ප්‍රකාශ කළේ, සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසු සැකකරු කුණ්ඩසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි

සැකකරු, ප්‍රධාන සැකකරුට ප්‍රවාහන හා නවාතැන් පහසුකම් ලබා දී ඇති බව අනාවරණ වී ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය.

පොලීසිය ප්‍රකාශ කළේ,  ඊට යොදා ගත් මෝටර් රථය හා යතුරුපැදියක් මේ වන විට සිය භාරයේ ඇති බවයි.

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගත්තේ පසුගිය 17 වැනිදායි

එලෙස ඝාතනයට ලක්ව සිටියේ අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක් ලෙස සේවය කළ 33 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පැවසුවේය.