මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි ක්‍රම ඇතුළත් මැතිවරණ කොමිසමේ වාර්තාවක් පාර්ලිමේන්තු වි‍ශේෂ කාරක සභාවට - මැතිවරණ කොමිෂන් සභාව

by Staff writer 17-06-2026 | 7:49 AM

COLOMBO (News1st) - පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ක්‍රම සම්බන්ධ නීරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ඒ පිළිබඳ අධ්‍යයනයට පත් කළ පාර්ලිමේන්තු වි‍ශේෂ කාරක සභාවට යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක සඳහන් කළේ පළාත් සභා ක්‍රමවේද 04 කට පැවැත්විය හැකි බවට මේ වනවිට කාරක සභාව හමුවේ ප්‍රකාශ වී ඇති බවයි.

පෙර පැවති පළාත් සභා මැතිවරණ ක්‍රමය, එම ක්‍රමයට කාන්තා හා තරුණ නියෝජනය ඇතළත් කර මැතිවරණය පැවැත්වීම,සීමා නිර්ණය ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තුවේ අතර මග නවතා දමා ඇති පළාත් සභා මැතිවරණ ක්‍රමය හා නව සිමා නිර්ණය වාර්තා පදනම් කරමින් සකස් කරන ක්‍රමයකින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම එම ක්‍රම 4 යි.

ඒ අනුව අදාළ මැතිවරණ ක්‍රම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කර තිබේ.

මීට අමතරව එම ක්‍රමයන් යටතේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ හොත් ඒ සඳහා නාම යෝජනා කැඳවීම ඇතුළු කටයුතු සඳහා වැයවන කාලයද එම වාර්තාවට අන්තර්ගත කළ බව මැතිවරණ කොමිසම පැවසුවේ ය.