වසර 8කට පසු ලැබුණු දඬුවම

විශ්‍රාමික යුද හමුදා සෙබලෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ සැකකරුවෙකු වසර 8කට පසු අත්අඩංගුවට

by Staff writer 09-06-2026 | 7:33 AM

COLOMBO(News1st) - නාරංගස්පිටිය, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු වසර 8කට පසු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ 47 හැවිරිදි රණ්පොකුණුගම, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත පෑනක හැඩයෙන් යුත් කුඩා ගිනි අවියක්, එයට යෙදන පතරොම් 05ක්, T-56 පතරොම් 04 ක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 08ක් හා බෝර 12 වර්ගයේ පතරොම් 02ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

2018 වසරේ සිදුව ඇති එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණේ පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලක් මතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් වැඩිදුර විමර්ශන සිදු කර තිබේ.