.webp)

ශ්‍රී ලංකාවට විනාශකාරී බලපෑම් ඇති කළ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් මිනිස් ජීවිත, දේපොළ, යටිතල පහසුකම් මෙන්ම කෘෂිකර්මාන්තයට විශාල හානි සිදු වූ අතර, කුණාටුව සමඟ ඇති වූ නායයෑම් සහ තද සුළං හේතුවෙන් මධ්‍යම කඳුකරයේ සංවේදී ස්වභාවික වනාන්තර ප්‍රදේශවලින් 34%ක් විනාශ වී ඇති බව වාර්තා වී තිබේ. එම විනාශය ප්‍රධාන ගංඟා ද්‍රෝණි 07ක පරිසර පද්ධතිවලට දැඩි ලෙස බලපා තිබේ. ඒ හේතුවෙන් එම කලාපවල පාංශු ඛාදනය හා ස්වභාවික ජල මූලාශ්‍ර සිඳීයාමේ බරපතල අවදානමක් පවතින බව හඳුනා ගනු ලැබ ඇත. දශක ගණනාවක අක්‍රමවත් ඉඩම් භාවිතය හේතුවෙන් උග්‍ර වී ඇති එකී තත්ත්වය සමනය කිරීමේ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා වෙන් වූ අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ. අහිතකර දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කරන අතරම තිරසර සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන අයුරින් එම ප්‍රදේශ සඳහා දිගුකාලීන ආරක්ෂණ වැඩසටහනක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම එකී අධිකාරියේ අරමුණ වේ. ඒ අනුව, අදියර තුනක ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් යටතේ ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරියේ ආයතනික ව්‍යුහය සහ ක්‍රියාකාරී විෂය පථයන් විධිමත්ව හඳුනා ගැනීම පිණිස තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කිරීමටත්, ඒ සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීමටත්, ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරිය පිහිටුවීමටත් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අනුව ඉදිරි පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.
රැකියා සඳහා විදේශගත වන කාන්තාවන්ගේ පවුල්වල සිටින වයස අවුරුදු 2 හෝ ඊට වැඩි දරුවන්ගේ ආරක්ෂාව හා අධ්‍යාපනය සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබුව ද, එවැනි පවුල්වල තිරසර සංවර්ධනය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොමැති බව නිරීක්ෂණය වී ඇත. එමෙන්ම, එකී කාන්තාවන් රැකියා ගිවිසුම්ගත කාලය අවසානයේ මෙරටට පැමිණිය ද පවුල් සංවර්ධනය සඳහා නිසි සැලැස්මක් නොමැති වීමෙන් සිය ආර්ථික හා සමාජීය අරමුණු ඉටු කර ගැනීම සඳහා නැවත නැවත විදේශගතවීමේ ප්‍රවණතාවයක් ද පවතී. වයස අවුරුදු 3‑18 අතර ළමයින්ගේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග වඩාත් විධිමත් පරිදි නිසි යාන්ත්‍රණයක් ඔස්සේ ක්‍රියාත්මක කළ යුතු බව ද පෙනී ගොස් ඇත. එබැවින්, විගමනික ශ්‍රමික පවුල්වල දිගුකාලීන අභිවෘද්ධිය උදෙසා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, විගමනික ශ්‍රමික පවුල්වලට ආර්ථික මග පෙන්වීම, ළමා සෞඛ්‍ය හා ආරක්ෂාව, වනිතා කටයුතු, රැකියා පුහුණු, කුඩා ව්‍යාපාර හා අපනයන සංවර්ධනය වැනි කරුණු සම්බන්ධයෙන් අදාළ වන රාජ්‍ය නිලධාරින් එක් කණ්ඩායමක් සේ කටයුතු කරමින් එම පවුල් සඳහා මග පෙන්වීම හා පහසුකම් සැපයීම පිණිස ‘විගමනික ශ්‍රමික පවුල් සංවර්ධනය සඳහා ඒකාබද්ධ ක්‍රමවත් ප්‍රවේශය’ නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය මඟින් විශේෂ අවධානය යොමු කළ යුතු තත්ත්වයේ සිටින විදෙස් ශ්‍රමිකයින්ගේ පවුල් සඳහා තිරසර ජීවන තත්ත්වයක් ලබා දීම වෙනුවෙන් අවුරුදු 5ක සංවර්ධන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජනගහනය අඩු වීම, වයස්ගත ජනගහනය ඉහළ යාම සහ දේශීය ශ්‍රම බලකාය අඩු වීම හේතුවෙන් ජපාන ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය නිපුණතා සහ අර්ධ නිපුණතා සහිත මානව සම්පත් සපයා ගැනීම පිණිස ජපාන රජය විසින් විදේශීය ශ්‍රමය සපයා ගැනීම පිණිස ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, 2017 වසරේදී සහ 2019 වසරේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකාව සහ ජපානය අතර අත්සන් කරනු ලැබූ සහයෝගිතා ගිවිසුම් යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු වැඩසටහන සහ නිශ්චිත පුහුණු සේවකයන් පිළිබඳ වැඩසටහන යටතේ සේවයේ නියුක්තව සිටී. වඩාත් විනිවිදභාවයෙන් යුත් ශ්‍රමික කේන්ද්‍රීය සහ තිරසර ශ්‍රමික සංචලන රාමුවක් සහිතව 'කුසලතා සංවර්ධනය සඳහා වන රැකියා වැඩසටහන' නමින් නව වැඩසටහනක් 2027-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දීමට ජපාන රජය තීරණය කරනු ලැබ ඇත. ඒ යටතේ ශ්‍රමිකයන්ට ඉහළ ආරක්ෂාවක් සැපයීම, වඩාත් පැහැදිලි වෘත්තීය මාවතක් නිර්මාණය කිරීම සහ නිශ්චිත පුහුණු සේවකයින් පිළිබඳ වැඩසටහන වෙත මාරු වීමට අවස්ථාව ලබා දීමට අදාළ විධිවිධාන සලසා තිබේ. එකී වැඩසටහන යටතේ ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ට ද අවස්ථාව සලසා ගැනීමට හැකි වන පරිදි දෙරට අතර සහයෝගිතා ගිවිසුමකට එළඹීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
විශේෂ අවධානයක් යොමු කළ යුතු ආර්ථික මට්ටම්වල සිටින කාන්තාවන් ඉලක්ක කර ගනිමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ වන ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය මඟින් 'ව්‍යවසායකත්ව සංවර්ධනය තුළින් කාන්තාවන් සවිබලගැන්වීම' වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. එයට සමගාමීව 2026 අයවැය යෝජනා යටතේ 'කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කර ගත් වැඩසටහන' සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇත. ප්‍රධාන වශයෙන් මධ්‍යම මට්ටමේ ව්‍යවසායක කාන්තාවන් ඉහළ මට්ටමේ ව්‍යවසායකයින් බවට පත් කිරීම, දේශීය හා විදේශීය වෙළෙඳපොළ අවස්ථා ඇති කිරීම, මධ්‍යම මට්ටමේ ආදායම්ලාභී කාන්තාවන් රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම, රැකියා විරහිත තරුණියන් ව්‍යවසායකත්වයට යොමු කිරීම, ස්ත්‍රී‑පුරුෂ සමාජභාවය මත හිංසනයට පත් කාන්තාවන් සඳහා සහන සැලසීම සහ නිලධාරි ධාරිතා සංවර්ධනය එකී වැඩසටහන යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ප්‍රධාන වැඩසටහන් ක්ෂේත්‍ර 11ක් යටතේ සකස් කරනු ලැබ ඇති වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම - 2026ට අනුගතව, යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පුනර්ජනනීය බලශක්තියෙන් බලගැන්වෙන ජල විද්‍යුත් විච්ඡේදනය හරහා නිපදවනු ලබන හරිත හයිඩ්රජන්, නාවික, ගුවන් සේවා සහ බැර කර්මාන්ත කාබනීහරණය කෙරෙන 'අනාගතයේ ඉන්ධනය' වශයෙන් මේ වන විට ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇත. දේශීය විදුලි අවශ්‍යතාව ඉක්මවා යාමට සමත්, ගිගාවොට් 56ක් ඉක්ම වූ සුවිසල් අක්වෙරළ සුළං විභවයක් ශ්‍රී ලංකාව සතුව පවතින බව තක්සේරු කරනු ලැබ තිබේ. එකී අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය හරිත හයිඩ්රජන් නිපදවීම සඳහා යොදා ගැනීමට හැකියාව පවතින අතර, භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ පිහිටීමේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් හරිත හයිඩ්රජන් නිපදවීමේ ව්‍යාපෘති දියත් කර ගෝලීය අපනයන මාර්ග වෙත ප්‍රවේශ වීමේ විභවයක් ශ්‍රී ලංකාව සතුව පවතී. ඒ අනුව, 2025-08-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දුන් අනුමැතිය පරිදි මහජනතාවගේ, අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ හා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අදහස් හා ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින්, හරිත හයිඩ්රජන් ක්ෂේත්රය සඳහා ප්‍රතිපත්ති රාමු කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිසත්, ඒ සම්බන්ධයෙන් වන මාර්ග සිතියම, කාර්ය ප්‍රවාහය සහ රෙගුලාසි සකස් කිරීම පිණිසත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ආරක්ෂිත, විශ්වසනීය සහ දැරිය හැකි මිලකට ලබා ගත හැකි පානීය ජලය මෙන්ම, ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සඳහා වන ප්‍රවේශය, මහජන සෞඛ්‍ය පවත්වා ගැනීමටත්, සමාජ සුබසාධනය ප්‍රවර්ධනය කිරීමටත්, ආර්ථික සංවර්ධනය පෝෂණය කිරීමටත් අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකා රජය විසින් ජලසම්පාදන හා සනීපාරක්ෂක සේවාවන් ආර්ථික භාණ්ඩයක් මෙන්ම මූලික මානව අවශ්‍යතාවක් ලෙස ද පිළිගනු ලබයි. එබැවින්, ජල හා සනීපාරක්ෂක සේවා සඳහා මිල නියම කිරීමේදී සේවා සපයන්නන්ගේ මූල්‍ය තිරසරභාවය සහ සමාජයේ සියලුම ස්ථරයන් සඳහා සාධාරණ හා දැරිය හැකි ප්‍රවේශයක් සහතික කිරීමේ අවශ්‍යතාව අතර මනා සමතුලිතතාවක් පවත්වා ගත යුතුව ඇත. ඒ අනුව, සියලුම ජලසම්පාදන හා සනීපාරක්ෂක සේවා සපයන්නන් සඳහා අදාළ වන පරිදි සහ ස්ත්‍රී‑පුරුෂ සමාජභාවී සමානතාව හා සමාජීය අන්තර්ග්‍රහණය කෙරෙහි සංවේදී වූ ජාතික ජල ගාස්තු ප්රතිපත්තියක අවශ්‍යතාව ශ්‍රී ලංකා රජය විසින් හඳුනා ගනු ලැබ තිබේ. වර්තමානය වන විට විවිධ ජල සේවා සපයන්නන් විසින් මෙහෙයවනු ලබන ජලසම්පාදන ක්‍රමවල ගාස්තු නියම කිරීම සඳහා මෙන්ම සනීපාරක්ෂක පද්ධති සඳහා ගාස්තු නියම කිරීම, සමාලෝචනය කිරීම, අනුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් ජාතික රාමුවක් නොමැත. එබැවින්, ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක ප්‍රතිපත්ති පාදක ණය වැඩසටහනක් වන ශ්‍රී ලංකා ජලසම්පාදන හා සනීපාරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සියලු ජලසම්පාදන සේවා සපයන්නන් ආවරණය වන පරිදි ජාතික ජල ගාස්තු ප්‍රතිපත්තියක් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය විසින් සකස් කර තිබේ. එකී ජාතික ජල ගාස්තු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජාතික මට්ටමේ සෞඛ්‍ය සංවර්ධන ඉලක්ක මෙන්ම, ගෝලීය වශයෙන් 2030 දී අත්කර ගැනීමට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ප්‍රධාන දත්ත මූලාශ්‍රය ශ්‍රී ලංකා ප්‍රජා විද්‍යා හා සෞඛ්‍ය සමීක්ෂණය වේ. අවසන් වරට 2016 වර්ෂයේදී එම සමීක්ෂණය පවත්වා ඇති අතර, ගෝලීය තිරසර සංවර්ධන අභිමතාර්ථයන්හි සෞඛ්‍ය සහ යහපැවැත්මේ ඉලක්කවලට අදාළ දත්ත හා දර්ශක කඩිනමින් ලබා දීමට හැකි වන පරිදි යාවත්කාලීන දත්ත ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා ප්‍රජා විද්‍යා හා සෞඛ්‍ය සමීක්ෂණය පැවැත්විය යුතුව ඇත. ඒ අනුව, එකී සමීක්ෂණය පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
නවෝත්පාදනය හා දැනුම කේන්ද්‍ර කර ගත් තාක්ෂණය මත පදනම්ව රටේ ආර්ථිකය සඳහා ඉහළ දායකත්වයක් උදා කර දීමේ අරමුණින් හෝමාගම, පිටිපන, මාහේනවත්ත ‘තාක්ෂණික නගර ව්‍යාපෘතිය’ ආරම්භ කරනු ලැබ ඇත. එහි පළමු අදියර යටතේ අක්කර 236ක භූමි ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් අත්පත් කර ගෙන ඇති අතර, එකී භූමි ප්‍රදේශය තාක්ෂණික අධ්‍යාපනය, කර්මාන්ත, නවෝත්පාදන සහ තරගකාරිත්වය ප්‍රවර්ධනය කරනු ලබන නව නිපැයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් හරිත සරසවිය, කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨයන්, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය, ශ්‍රී ලංකා ජීව තාක්ෂණික ආයතනය, මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව වැනි ආයතන සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලය ස්ථාපනය කිරීම සඳහා වෙන් කර දී තිබේ. එම ප්‍රදේශයේ අවශ්‍යතාවන්ට මේ වන විට දෛනිකව 50,000කට ආසන්න ජනතාවක් පැමිණෙන අතර, සැලසුම් කර ඇති පරිදි ව්‍යාපෘතිය අවසන් වන විට ඊට වඩා සැලකිය යුතු සංඛ්‍යාවක් එම ප්‍රදේශයට දෛනිකව පැමිණෙනු ඇතැයි පුරෝකථනය කරනු ලැබ තිබේ. එබැවින්, දැනට පවතින මාර්ග පද්ධතිය පුළුල් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇති අතර, ඒ අතරින් පිටිපන‑තලගල මාර්ගය සඳහා ප්රමුඛ ස්ථානයක් ලබා දිය යුතුව ඇත. ඒ අනුව, එම මාර්ගයේ පාසල් හන්දියේ සිට පෙළපොත් ගබඩාව දක්වා වූ පළල අඩි 30ක් පමණ පටු මාර්ගය මංතීරු 02කින් යුක්තව පුළුල් කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා; සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
නාගරික ප්‍රදේශවල පොදු මහජනතාව සහ සංචාරකයින් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-01-06 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබා දෙනු ලැබූ රුපියල් මිලියන 327ක ප්‍රතිපාදන යටතේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් 2025 වර්ෂයේදී ව්‍යාපෘති යෝජනා 29ක් ක්‍රියාත්මක කර ඇත. එම ව්‍යාපෘති 29 අතරින් ව්‍යාපෘති 16ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සම්පූර්ණ කරනු ලැබ ඇති අතර, ඉතිරි ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු ඉදිරි මාසයක පමණ කාලසීමාවක් ඇතුළතදී සම්පූර්ණ කිරීමට නියමිතව තිබේ. නාගරික ප්‍රදේශවල පොදු මහජනතාව සහ සංචාරකයින් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළව මෙම වර්ෂය සඳහා ද දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාවල ශක්‍යතාව ඇගයීමෙන් අනතුරුව, 2026 වර්ෂය තුළ ප්‍රමුඛතා පදනම මත පළාත් පාලන බලප්‍රදේශ 24ක ව්‍යාපෘති 26ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෙන් කර දීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජාතික ඩිජිටල් ප්‍රතිපත්තිය සහ මාර්ගෝපදේශ ඵලදායීව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා නීතිමය බලතල සහිත ආයතන රාමුවක් අත්‍යවශ්‍ය වේ. ප්‍රතිපත්ති සම්පාදනය, තාක්ෂණය ක්‍රියාත්මක කිරීම, මෙහෙයුම් නියාමනය කිරීම සහ බලාත්මක කිරීම යන ක්ෂේත්රයන් සඳහා එම ආයතනික රාමුව වෙත ගුණාත්මක මානව ප්රාග්ධනය ආකර්ශනය කර ගත යුතු වේ. ශක්තිමත් ආයතනික රාමුවක් සකස් කිරීමේදී පෞද්ගලික අංශයේ අඛණ්ඩ සහභාගිත්වය ද සලකා බැලිය යුතු අතර, එමඟින් කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සහ එයට අදාළ ක්‍රියාකාරකම් සඳහා සහාය ඇතුළු ඩිජිටල් නවෝත්පාදනයේ නව ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද හඳුනාගනු ලැබ තිබේ. එකී කරුණු සැලකිල්ලට ගනිමින් නව ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම සඳහා වූ ඩිජිටල් ආර්ථික පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, එකී සංකල්ප පත්‍රිකාව මත පදනම්ව ඩිජිටල් ආර්ථික පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ මත ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තන් විසින් ශ්‍රී ලංකාවෙන් පිටත සිදුකරන ප්‍රාග්ධන ගනුදෙනු සඳහා පොදු අවසරයක් සහ විගාමිකයන් විසින් විදේශයන්ට අරමුදල් මාරුකිරීම පිළිබඳ අවසරය ප්රදානය කරමින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ 2021 අංක 1 දරන විදේශ විනිමය (ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාවෙන් පිටත සිදු කරනු ලබන ප්‍රාග්ධන ගනුදෙනු වර්ග) නියෝග සහ 2021 අංක 3 දරන විදේශ විනිමය (විගාමිකයින් විසින් අරමුදල් ප්‍රේෂණය කිරීම) නියෝග නිකුත් කරනු ලැබ තිබේ. එම නියෝග මඟින් ලද අවසරය මත සිදු කරන ප්රතිමුඛ ප්‍රේෂණ අංක 2467/67 හා 2025-12-18 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තියේ විධිවිධාන යටතේ වන නියමයක් අනුව විවිධ සීමාකිරීම්වලට ලක් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ විනිමය පනත යටතේ දැනට පවතින එකී නියෝග අවලංගු කර නව නියෝග නිකුත් කිරීමටත්, මේ වන විට ක්‍රියාත්මක සීමා කිරීම් අඛණ්ඩව පවත්වා ගැනීමට නව නියමයක් නිකුත් කිරීමටත් නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ පහත සඳහන් නියෝග/නියමය රජයේ ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
2026 අංක 1 දරන විදේශ විනිමය (ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තන් විසින් විදේශයන්හි සිදු කරන ආයෝජන) නියෝග.
2026 අංක 2 දරන විදේශ විනිමය (විගාමිකයන් විසින් විදේශයන්ට අරමුදල් මාරු කිරීම) නියෝග.
2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තියේ විධිවිධාන යටතේ වන නියමය.
මෙරට ගෝලීය මට්ටමේ ආදායම් පරිපාලන යාන්ත්‍රණයන් නිර්මාණය කිරීම සහ ස්ථාපනය කිරීම අරමුණු කර ගනිමින්, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ස්ථාපිත කිරීමටත්, ඒ යටතේ රේගු, දේශීය ආදායම් සහ සුරාබදු යන දෙපාර්තමේන්තු සඳහා වෙන් වෙන් වශයෙන් මෙහෙයුම් කමිටු පත් කිරීමටත් 2025-05-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, රේගු කටයුතු සම්බන්ධයෙන් වන මෙහෙයුම් කමිටුව විසින් ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිව්‍යුහගත කිරීම් සහ නවීකරණ කටයුතු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කර තිබේ. එසේම, එම කමිටුව විසින් රේගු ආඥාපනත ගැඹුරින් අධ්‍යයනය කර, යල් පැන ගිය විධිවිධාන හඳුනා ගැනීම, කාලානුරූපව සංශෝධනය කළ යුතු ප්‍රතිපාදන තීරණය කිරීම, ව්‍යාපාරික ප්‍රජාව, ආනයන හා අපනයන ක්ෂේත්රයේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් රේගු ආඥාපනත සඳහා අවශ්‍ය සංශෝධන නිර්දේශ කිරීම පිණිස විශේෂ කමිටුවක් පත් කළ යුතු බවට නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, ජනාධිපති නීතිඥ විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව අදාළ සියලු ක්ෂේත්රයන් නියෝජනය වන පරිදි රේගු ආඥාපනත සමාලෝචන කමිටුව පත් කරනු ලැබ තිබේ. එම කමිටුව විසින් මාස 07කට ආසන්න කාලයක් අඛණ්ඩව රැස් වී අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එම වාර්තාවේ නිර්දේශ මත පදනම්ව, රේගු ආඥාපනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ විධිවිධාන පරිදි සාදන ලද 2026 දූෂණ විරෝධී (මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා සිදු කරනු ලබන වත්කම් හා බැරකම් ප්‍රකාශ) නියෝග සහ දූෂණ විරෝධී (වත්කම් හා බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත අධිඅවදානම් කාණ්ඩ) නියෝග ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, පිළිවෙලින් අංක 2482/03 හා 2482/04 දරන 2026-03-30 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනයන් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති එකී නියෝග, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
නවීන ජෛවතාක්ෂණයෙන් බිහිවන ජාන විකරණය කරන ලද ජීවීන් මඟින් මානව සෞඛ්‍යයට, ජෛවවිවිධත්ව සංරක්ෂණයට හා තිරසර භාවිතයට ඇතිවිය හැකි අයහපත් බලපෑම අවම කර ගැනීම සහ එකී අවදානමට සාර්ථකව මුහුණ දීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සහතික කරගැනීම අරමුණු කර ගනිමින් ජෛවවිවිධත්ව සම්මුතියෙහි පාර්ශ්ව රාජ්‍යයන් විසින් 2000 වසරේ දී ජෛව සුරක්ෂිතතාව පිළිබඳ කාර්ටිජිනා සන්ධානය පිහිටුවාගෙන ඇත. ශ්‍රී ලංකාව ද එම සන්ධානයෙහි පාර්ශ්වකාර රාජ්‍යයක් වන බැවින්, ජාන විකරණය කරන ලද ජීවීන් හේතුවෙන් ජෛවවිවිධත්ව සංරක්ෂණයට සිදු විය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා දේශීයව නෛතික රාමුවක් පිළියෙල කළ යුතු වේ. ඒ අනුව, 2017-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද ජෛව සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට තවදුරටත් අවශ්‍ය සංශෝධන සිදු කිරීම සඳහා 2021-08-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ. පරිසර අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, එකී අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනටමත් කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට තවදුරටත් යෝග්‍ය විධිවිධාන ඇතුළත් කරමින් අවසන් පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් නිම කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි චාන්දනී සාගරිකා බෝගහවත්ත මහත්මිය පූර්ණකාලීනව වැඩබැලීමේ පදනම මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම පිණිස 2024-12-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඒ මහත්මිය 2026-01-01 දින සිට ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කරනු ලැබ තිබේ. ඒ අනුව, චාන්දනී සාගරිකා බෝගහවත්ත මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට ස්ථිර පදනමින් පත් කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මේ වන විට පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා සුදුසු නිලධරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විසින් කමිටුවක් පත් කරනු ලැබ තිබේ. එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, දැනට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක අධ්යක්ෂ ජනරාල් (මානව සම්පත් කළමනාකරණ, ආයතනික සහ අමාත්‍ය මණ්ඩල හා පාර්ලිමේන්තු කටයුතු) ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, එම්.එම්.සී.පී.මොහොට්ටිගෙදර මහතා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කළ ඒ.පී.කුරුම්බලපිටිය මහතා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් පුරප්පාඩුව පවතින එම තනතුරට සුදුසු නිලධරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විසින් කමිටුවක් පත් කරනු ලැබ තිබේ. එකී කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, දැනට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරි ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, එම්.ආර්.ජී.ඒ.බී.මුතුකුඩේ මහතා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
