කුවේට් ප්‍රහාරයෙන් ලාංකිකයින් 3කට තුවාල...

කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ලවූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් - කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

by Staff writer 04-06-2026 | 7:18 AM

COLOMBO (News 1st) - කුවේට්හි ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස අතරට ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකුද ඇතුළත් බව කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරයි.

තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ඔවුන්ගේ තත්ත්වය සොයාබැලීමට හා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා කුවේට්හි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ලක්ෂිත රත්නායක හා කම්කරු අංශ ප්‍රධානී එම්. ආර්. සී. බී. ඒකනායක පැමිණ තිබිණි.

පවතින තත්ත්වය පිළිබඳ කුවේට් රාජ්‍ය ආයතන සිදුකරන මාර්ගෝපදේශ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස තානාපති කාර්යාලය කුවේට්හි සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ 4 වැනි පර්යන්තයට එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තවත් 60 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

ඒ ඇමරිකානු හමුදා ඉරානයේ ඉන්ධන ප්‍රවාහන නෞකාවකට සහ සන්නිවේදන කුළුණකට පහරදීමට ප්‍රතිචාර වශයෙන් එල්ල කළ ප්‍රහාරයකිනි.

කෙසේ වෙතත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබුණේ කුවේට් සහ බහරේනයේ ඇමරිකානු ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවයි.