පොහොර හිඟයක් නෑ.පොහොර නැව් 2ක් මේ මාසයේ දිවයිනට

යල කන්නයේ කුඹුරු ප්‍රමාණයෙන් 75% කට පොහොර සහනාධාර ලබා දී අවසන් - ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

by Staff writer 03-06-2026 | 8:17 AM

COLOMBO (News 1st) - යල කන්නයේ වී වගා කර ඇති බිම් ප්‍රමාණයෙන්  75%කට මේ වනවිට පොහොර සහනාධාර මුදල් ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග සදහන් කළේ ඒ සඳහා රුපියල් මිලියන 8990 ක් වැයකර ඇති බවයි.

මේ සතිය තුළ තවත් රුපියල් මිලියන 2000 ක් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කරන බවද ඔහු ප්‍රකාශ කළේ ය.

පොහොර සහනාධාරය යටතේ ගොවියෙකුට හිමිවන මුදල රුපියල් 30000කි.

මෙවර යල කන්නයේ හෙක්ටෙයාර් තුන් ලක්ෂ 94299 ක වි වගා කර ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවලින් තවදුරටත් යූරියා පොහොර මිටියක් රුපියල් 10,200ක මිලකට ගොවීන්ට නිකුත් කෙරෙයි.

මේ අතර ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසන්නේ, තවත් යූරියා නැවක් එම් ඕ පී පොහොර නැවක් මේ මාසයේ දිවයිනට ළඟා වන බවයි.

යූරීයා පොහොර මෙට්‍රික් ටොන් 18000 නෞකාව මෙරටට ළඟා වන්නේ උස්බෙකිස්ථානයේ සිටයි.

මෙට්‍රික් ටොන් 17000 ක එම් ඕ පී පොහොර රැගත් නෞකාව ඕමානයේ සිට මෙරටට ළඟා වන බව පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේ ය.

එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ පැවසුවේ , යල කන්නය සඳහා අවශ්‍ය සියලු පොහොර තොග රට සතු බවයි.

එබැවින් පොහොර හිඟයක් පිළිබඳ ගොවීන් අනියත බියක් ඇති කර නොගන්නැයි ඔහු ඉල්ලීමක් කරයි.