.webp)
 (3)-617403.jpg)
COLOMBO (News 1st) -ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික පියවර සාර්ථකව තබා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඔහු ඒ බව පැවසුවේ, සිය ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල සංචාරය අවසන් කරමින් කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණීමෙන් අනතුරුවයි.
සංචාරය අතරතුර සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගනිමින්, RCEP සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් දෙපළක් වන ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය, ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට එකඟතාව පළ කළ බවද අමාත්‍යවරයා එහිදී පැවසුවේ ය.
ගෝලීය ජනගහනය මෙන්ම ආර්ථික නිපැයුම් අතින් ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම ලෙස සැලකෙන RCEP ආසියා-පැසිපික් කලාපයේ ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා රටවල් 15ක සහභාගිත්වයෙන් පිහිටුවා තිබේ.
ඊට බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මලයාසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන ආසියාන් කලාපීය සාමාජික රටවල් 10 මෙන්ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, චීනය සහ දකුණු කොරියාව යන ප්‍රධාන ආර්ථික බලවතුන් ද ඇතුළත් ය.
මෙම නිල සංචාරයේ දී එළඹි තවත් සුවිශේෂී එකඟතාවක් වනුයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඍජු ගුවන් සබඳතා තවදුරටත් වර්ධනය කිරීමයි.
ඒ අනුව, එළැඹෙන අගෝස්තු මාසයේ සිට ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියාව ද බලාපොරොත්තු වන බව අමාත්‍ය විජිත හේරත් පැවසුවේ ය.
